ගණන් කථාව 23:1-12
ගණන් කථාව 23:1-12 NRSV
බාලාම් බාලාක්ට කතා කොට, “මෙහි මට පූජාසන හතක් තනා, ගොනුන් හත්දෙනෙකු හා බැටළු වස්සන් හත්දෙනෙකු සපයා දෙන්නැ”යි කී ය. බාලාම් කී පරිදි බාලාක් කළ පසු, දෙදෙනා ම එක එක පූජාසනය මත එක ගොනෙකු හා එක බැටළු වස්සෙකු බැගින් පූජා කළහ. ඉන්පසු බාලාම්, බාලාක් අමතමින්, “ඔබ ඔබේ දවන යාග පූජාව ළඟ සිටින්න. මම යන්නෙමි. ඇතැම් විට සමිඳාණන් වහන්සේ මා හමුවීමට එනු ඇත. උන් වහන්සේ මට යමක් වදාරන සේක් ද, මම එය ඔබට දන්වන්නෙමි”යි පැවසී ය. මෙසේ පවසා, ඔහු ගිරිකුළකට නැංගේ ය. එහි දී දෙවියන් වහන්සේ ඔහුට හමු වූ විට ඔහු උන් වහන්සේ අමතා, “මම පූජාසන හතක් තනා ඒ එක එක මත ගොනෙකු හා බැටළු වස්සෙකු බැගින් පූජා කෙළෙමි”යි කී ය. උන් වහන්සේ ඔහුට කතා කොට, “නුඹ බාලාක් වෙත ගොස්, ඔහුට මෙසේ සැළ කළ යුතු ය”යි දැන්වූ සේක. ඔහු ද බාලාක් වෙත ගිය විට, බාලාක් සහ මෝවබ්හි නායකයන් ඔහුගේ දවන යාග පූජාව ළඟ සිටිනු දිටී ය. එවිට බාලාම් මේ අනාවැකිය කී ය: “මෝවබ්හි භූපති බාලාක් මා කැඳවූයේ, ආරාම් රටිනි, පෙරදිග කඳුකරයෙනි, ඔහු මා ඇමතූයේ, ‘ එන්න, මා වෙනුවෙන් ඉශ්රායෙල් ජනයාට සාප කරන්න. එන්න, ඉශ්රායෙල් ජනයා හට දෙස් කියන්න’ කියා ය. දෙවිඳුන් සාප නොකළ අයට මම කෙසේ සාප කරම් ද? සමිඳුන් දෙස් නොකී අයට මම කෙසේ දෙස් කියම් ද? ගිරිකුළුවලින් එපිට මට ඔවුන් පෙනේ, කඳු හෙල්වලින් ඈත මට ඔවුන් දිස් වේ. ඔව්හු වෙන් ව වසන සෙනඟක් වෙති. ජාතීන් අතර නොගැණෙන සෙනඟක් වෙති. ධූලි වැනි ජාකොබ්ගේ පෙළපත ගිණිය හැක්කේ කාට ද? ඉශ්රායෙල් පරපුර ගිණීමට සමතා කවරෙක් ද? දැහැමියෙකු මෙන් මම මරණයට පත් වෙම් වා! මා අවසානය ඔවුන්ගේ මෙන් ම වේ වා!” එවිට බාලාක් බාලාම් අමතමින්, “ඔබ මට කළ මේ හදිය කුමක් ද? මා ඔබ කැඳවූයේ මාගේ සතුරන්ට සාප කිරීමට ය; එහෙත්, පුදුමයකි, ඔබ කර ඇත්තේ ඔවුන්ට ආසිරි පැතීමකි”යි කී ය. බාලාම් ඔහුට පිළිතුරු දෙමින්, සමිඳාණන් වහන්සේ මට කියන දේ පමණක් කීමට මම වග බලාගත යුතු නොවෙම් දැ”යි ඇසී ය.

