ඉශ්රායෙල් ජනයා ඉදිරියට ගොස් ජෙරිකෝවට මූණ ලා ජොර්දාන් ගඟින් එතෙර මෝවබ් මිටියාවතෙහි කඳවුරු බැඳගත්හ.
තවද, ශිප්පෝර්ගේ පුත් බාලාක් ඉශ්රායෙල්වරුන් අමෝරිවරුන්ට කළ සියල්ල දිටී ය. ඉශ්රායෙල් සෙනඟ බොහෝ වූ බැවින් මෝවබ්හි වැසියෝ ඔවුන්ට අතිශයින් බියපත් වී ඔවුන් නිසා කැළඹුණාහ. මෝවබ්හි වැසියෝ මිදියන්හි මූලිකයන්ට කතා කොට, “ගොනෙකු කෙතේ තණ කොළ කා දමන්නාක් මෙන්, මේ පිරිස අප අවට ඇති සියල්ල කාදමනු ඇතැ”යි කී හ. ඒ සමයෙහි මෝවබ්වරුන්ගේ රජ ශිප්පෝර්ගේ පුත් බාලාක් විය. මොහු අමවු නම් රටේ යුප්‍රටීස් නදිය අසල වූ පෙතෝර් නම් නගරයේ විසූ බෙයෝර්ගේ පුත් බාලාම් කැඳවීමට දූතයන් යවමින්, ඔහුට මෙසේ දැන්විය: “බලන්න, මිසරයෙන් පිටතට පැමිණි සෙනඟක් මෙහි ඇත. ඔව්හු මගේ රට පුරා පැතිරී, එය අල්ලාගැනීමට තර්ජනය කරති. දැන් ඉතින් කරුණාකර, ඔබ මෙහි පැමිණ, මා වෙනුවෙන් ඔවුන්ට සාප කරන්න. එසේ කළොත් ඔවුන්ට පහර දී මේ රටින් ඔවුන් පන්නාදැමීමට අපට පුළුවන් වනු ඇත. මන්ද, ඔබ යමෙකුට ආසිරි පැතුවොත් ආසිරි ලැබෙන බවත්, සාප කළොත් සාප ලැබෙන බවත් මම දනිමි.”
එවිට මෝවබ්හි සහ මිදියන්හි ප්‍රජා මූලිකයෝ පේන කීමට ගෙවිය යුතු මුදල් රැගෙන, බාලාම් වෙත ගොස් බාලාක්ගේ පණිවුඩය සැළ කළහ. ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින්, “අද රෑ මෙහි නවතින්න. සමිඳාණන් වහන්සේ මට කියන ලෙස මම යළි ඔබට දන්වන්නෙමි”යි කී ය. මෝවබ්හි ප්‍රජා මූලිකයෝ ද බාලාම් සමඟ නවාතැන් ගත්හ.
දෙවියන් වහන්සේ බාලාම් වෙත පැමිණ, “නුඹ සමඟ සිටින මේ මිනිස්සු කවුරු දැ”යි ඇසූ සේක. බාලාම් උන් වහන්සේට පිළිතුරු දෙමින්, “මෝවබ්හි රජ වූ ශිප්පෝර්ගේ පුත් බාලාක් මා වෙත දූතයන් එවා, ‘බලන්න, මිසරයෙන් පිටත් ව මෙහි සෙනඟක් පැමිණ ඇත. ඔව්හු මාගේ රට පුරා පැතිරී සිටිති. දැන් ඉතින් කරුණාකර, ඔබ මෙහි පැමිණ මා වෙනුවෙන් ඔවුන්ට සාප කරන්න. එසේ කළොත්, මට ඔවුන් පරාජය කොට, පන්නාදැමීමට පුළුවන් වනු ඇතැ’යි කියා දන්වා තිබේ ය”යි පැවසී ය.
එවිට දෙවියන් වහන්සේ බාලාම්ට කතා කොට, “නුඹ ඔවුන් සමඟ නොයා යුතු ය. ඒ සෙනඟට සාප නොකළ යුතු ය. මන්ද, ඒ සෙනඟ ආසිරි ලත් සෙනඟක් ය”යි වදාළ සේක.
බාලාම් උදෑසන නැඟිට බාලාක්ගේ ප්‍රජා මූලිකයන් අමතා, “ඔබේ රටට ආපසු යන්න, ඔබ සමඟ මට යන්නට සමිඳාණන් වහන්සේ අවසර නොදෙන සේකැ”යි කී ය. ඔව්හු නැඟිට, බාලාක් වෙත පැමිණ, “බාලාම් අප සමඟ එන්නට බැරි ය කියන්නේ ය”යි සැළ කළහ.
එවිට බාලාක් කලින් යැවූ දූතයන්ට වඩා ගරුතර නායකයන් බොහෝ දෙනෙකු නැවත යැවී ය. ඔව්හු බාලාම් වෙත පැමිණ, “ශිප්පෝර්ගේ පුත් බාලාක් මෙසේ කියනු ඇත: ‘කරුණාකර, මා වෙත එන්නට බැහැ නොකියන්න. මම ඔබට ගරු සම්මාන ප්‍රදානය කරමි, ඔබ ඉල්ලන්නේ කුමක් ද, ඒ දේ මම දෙමි. එබැවින් කරුණාකර, මෙහි පැමිණ, මා වෙනුවෙන් මේ සෙනඟට සාප කරන්න’ කියා ඉල්ලා සිටින්නේ ය”යි සැළ කළහ.
එවිට බාලාම්, බාලාක්ගේ දූතයන්ට පිළිතුරු දෙමින්, “බාලාක් සිය රාජකීය මාලිගයේ රන් රිදී සියල්ල මට දෙතත්, මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ වචනය ඉක්මවා, අබමල් රේණුවක පමණ වත් දෙයක් මට කළ නොහැකි ය. එබැවින් කරුණාකර, මේ රාත්‍රියත් මෙහි ගත කරන්න, සමිඳාණන් වහන්සේ ඊට වැඩි යමක් මට කියන සේක් නම්, මම එය දැන ගන්නෙමි”යි සැළ කෙළේ ය.
එදින රෑ දෙවියන් වහන්සේ බාලාම් වෙත පැමිණ, ඔහුට කතා කොට, “නුඹ කැඳවීමට මේ මිනිස්සු පැමිණියෝ නම්, ඔවුන් සමඟ යන්න. එහෙත්, මා නුඹට දන්වන පණිවුඩය අනුව පමණක් නුඹ කළ යුතු ය”යි වදාළ සේක.