ගණන් කථාව 16:24-33
ගණන් කථාව 16:24-33 NRSV
“මේ සෙනඟට කතා කොට: ‘කෝරාගේ ද දාතාන්ගේ ද අබිරාම්ගේ ද කූඩාරම්වලින් අහකට යන්න’ කියා කියන්නැ”යි වදාළ සේක. මෝසෙස් නැඟිට ඉශ්රායෙල් ජනයාගේ ප්‍රජා මූලිකයන් සමඟ දාතාන් සහ අබිරාම් වෙත ගියේ ය. මෙසේ ගොස්, ඔහු සෙනඟට කතා කොට, “කරුණාකර මේ අදමිටුන්ගේ කූඩාරම්වලින් අහකට යන්න. ඔවුන් සතු කිසිවකට අත නොතබන්න. එසේ කළොත් ඔවුන්ගේ පාපයන් නිසා නුඹලාත් වැනසෙනු ඇතැ”යි කීවේ ය. එවිට ඔව්හු කෝරා, දාතාන් සහ අබිරාම් යන අයගේ කූඩාරම්වලින් අහකට ගියහ. දාතාන් සහ අබිරාම් පිටතට අවුත්, තමන්ගේ භාර්යාවන්, පුත්‍රයන් සහ සිඟිත්තන් සමඟ තම කූඩාරම්වල දොරකඩ සිටගත්හ. මෝසෙස් කතා කොට, “මේ කාරණා ඉටු කිරීමට සමිඳාණන් වහන්සේ මා එවූ බව නුඹලා මෙයින් දැනගන්නහු ය. මේවා කරන්නේ මාගේ ම බලයකින් නොවේ. සියල්ලන්ට පොදු වූ මරණයට මේ මිනිසුන් පාත්‍ර වී, පොදු ඉරණමට ලක් වූවොත්, සමිඳාණන් වහන්සේ මා නො එවූ සේක. එහෙත්, උන් වහන්සේ අමුතු දෙයක් කරමින්, භූමියේ කට අයා ඔවුන් ද ඔවුන් සතු සියල්ල ද ගිලගෙන පාතාලයට ඔවුන් පණපිටින් වැටෙන්නට සැලැස්සුවොත්, මේ මිනිසුන් උන් වහන්සේ ප්‍රතික්ෂේප කළ බව නුඹලා දැනගත යුතු ය”යි කීවේ ය. මේ වචන සියල්ල පවසා නිම වූ විගස, ඔවුන් සිටගෙන උන් තැන පැළිණි. භූමිය කට අයා ගත්තේ ය. ඔවුනුත්, නිවාසත්, කෝරාගේ සියලු පිරිසත්, සකල සම්පතත් භූමිය ගිලදැමී ය. ඔව්හුත්, ඔවුන් සතු සියලු දෙනත් පණපිටින් ම පාතාලයට කිඳා ගියෝ ය. මිහිතලය ඔවුන් වසාගත්තා ය. සෙනඟ අතරෙන් ඔව්හු වැනසී ගියහ

