ශුද්ධවර මාක් 9:15-24

ශුද්ධවර මාක් 9:15-24 NRSV

එකෙණෙහි ම මුළු සමූහයා උන් වහන්සේ දැක ඉතා විස්මිත ව, උන් වහන්සේ සමීපයට දිව ගොස් ආචාර කළහ. “ඔබ ඔවුන් සමඟ කුමක් ගැන වාද කරන්නහු දැ”යි උන් වහන්සේ විනයධරයන්ගෙන් ඇසූ සේක. සමූහයාගෙන් එක් කෙනෙක් උන් වහන්සේට උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, මාගේ පුත්‍රයා ඔබ වෙතට ගෙනාවෙමි; ඔහුට ගොළු ආත්මයක් ආවේශ වී ඇත. ඒ ආත්මය ඔහු මැඩලන කොතැනක දී වුව ද ඔහු බිම හෙළයි. එවිට ඔහු කටින් පෙණ දමයි; දත්මිටි කයි; දරදඬු වෙයි. මේ ආත්මය දුරු කරන ලෙස මම ඔබේ ශ්‍රාවකයන්ගෙන් ඉල්ලුවෙමි. එහෙත් ඔවුන්ට එය කළ නොහැකි වී ය”යි කී ය. උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “අහෝ! ඇදහිලි හීන පරම්පරාව, මා කොපමණ කල් ඔබ සමඟ සිටින්න ද? කොපමණ කල් ඔබ ගැන ඉවසන්න ද? ඔහු මා වෙත ගෙනෙන්නැ”යි වදාළ සේක. ඔව්හු උන් වහන්සේ වෙතට ළමයා ගෙනාහ. උන් වහන්සේ දුටු කෙණෙහි ම ඒ ආත්මය ඔහු තදින් සලිත කරලී ය. ඔහු ද බිම වැටී පෙරළි පෙරළී කටින් පෙණ දමන්න වන. “මොහුට මෙය සිදු වී කොපමණ කල් දැ”යි උන් වහන්සේ පියාගෙන් ඇසූ සේක. ඔහු උත්තර දෙමින්, “ළමා වයසේ පටන් ය, තවද, ඒ ආත්මය ඔහු විනාශ කරන පිණිස වරින් වර ගින්නෙහි ද වතුරෙහි ද හෙළයි. ඔබට යමක් කළ හැකි නම්, අපට අනුකම්පා කොට පිහිට වුව මැනවැ”යි කී ය. ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ඔබට හැකි නම්, කියා ඔබ කීවෙහි ද? අදහන්නාට සියල්ල හැකි ය”යි වදාළ සේක. එකෙණෙහි ම දරුවාගේ පියා, “මම අදහමි, මාගේ ඇදහිල්ල මදිකම ගැන පිහිටවුව මැනවැ”යි මොරගා කීවේ ය.