උන් වහන්සේ එතැනින් නික්ම සිය රටට පැමිණි සේක. ශ්‍රාවකයෝ ද උන් වහන්සේ පිරිවරා ගියහ. එය සබත් දින වූයෙන් උන් වහන්සේ ධර්මශාලාවෙහි උගන්වන්න පටන්ගත් සේක. උන් වහන්සේට සවන් දුන් සමූහයා විස්මිත ව, “මොහුට මේ දේවල් පහළ වූයේ කොහෙන් ද? මොහුට දී තිබෙන මේ ප්‍රඥාව කිමෙක් ද? මොහු අතින් කරනු ලබන හාස්කම් කවරේ ද? මොහු වඩුවා නොවේ ද? මරියාගේ පුතා නොවේ ද? ජාකොබ්, ජෝසෙප්, ජූදස් හා සීමොන් යන අයගේ සහෝදරයා නොවේ ද? මොහුගේ සහෝදරියනුත් අප අතර සිටිනවා නොවේ ද?” කියා ඔව්හු උන් වහන්සේ ප්‍රතික්ෂේප කළහ. ජේසුස් වහන්සේ කතා කරමින්, “දිවැසිවරයෙකුට ගරුබුහුමන් නැත්තේ සිය ගමේ දීත්, නෑදෑයන් අතර දීත්, තම ගෙදර දීත් පමණකැ”යි වදාළ සේක. එහි දී රෝගීන් ස්වල්ප දෙනෙකු පිට අත් තබා සුව කිරීම හැර, අන් කිසි හාස්කමක් කරන්න උන් වහන්සේට නොහැකි විය. ඔවුන්ගේ අවිශ්වාසය ගැන උන් වහන්සේ මවිත වූ සේක.
උන් වහන්සේ අනුශාසනා කරමින් අවට ගම්වල සැරිසැරූ සේක. එකල උන් වහන්සේ දොළොස් දෙනා තමන් වෙත කැඳවා ඔවුන් දෙදෙනා බැගින් පිටත් කර යැවූ සේක. අශුද්ධාත්මයන් කෙරෙහි ඔවුන්ට බලය ද දුන් සේක. ගමනට සැරයටියක් හැර, රොටි වත්, මල්ලක් වත්, පසුම්බිවල මුදල් වත් යන කිසිවක් නොගෙන, වහන් පය ලා, කමිස දෙකක් නොගෙන යන ලෙස ඔවුන්ට අණ කළ සේක. තවද, උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඔබ යම් කිසි නිවසකට පිවිසි කල, එතැනින් පිට වී යන තෙක් එහි ම නවතින්න. යම් තැනක දී, ඔවුන් ඔබ පිළිගන්නේ වත් ඔබේ වචන අසන්නේ වත් නැත්නම්, එතැනින් පිට වී යන කල ඔවුන්ට විරුද්ධ ව සාක්ෂියක් වන පිණිස ඔබේ පාදවල තිබෙන ධූලි ගසා දමන්නැ”යි වදාළ සේක. එලෙස ඔව්හු පිටත් ව ගොස් සෙනඟ පසුතැවී සිත් හරවා ගත යුතු ය යි දේශනා කළහ. තවද, ඔව්හු බොහෝ දුෂ්ටාත්මයන් දුරු කොට, බොහෝ රෝගීන් ද තෙලින් ආලේප කොට සුවපත් කළහ.
එකල ජේසුස් වහන්සේගේ කීර්තිරාවය පතළ වී ගිය බැවින් හෙරොද් රජුට එපවත් සැළ විය. සමහරු, “ස්නාවක ජොහන් මළවුන් කෙරෙන් උත්ථාන වී ඇත; මේ බලමහිම ඔහු තුළ ක්‍රියා කරන්නේ ඒ නිසා ය”යි කී හ. එහෙත් සමහරු, “මොහු එලියා ය”යි කී හ. අන් සමහරු, “මොහු පෙර සිටි දිවැසිවරයන් වැනි දිවැසිවරයෙකැ”යි කී හ. එහෙත්, හෙරොද් ඒ ඇසූ කල, “මේ මා විසින් හිස ගසාදම්මන ලද ජොහන් ය; මොහු මළවුන්ගෙන් නැඟිට සිටී” යයි කී ය.
හෙරොද් සිය සොහොයුරා වන පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් සරණ පාවාගත් බැවින්, ඇය නිසා මිනිසුන් යවා ජොහන් අල්ලා බැඳ හිර අඩස්සි කෙළේ ය. “ඔබේ සහෝදරයාගේ භාර්යාව තබාගැනීම ඔබට යුතු නැතැ”යි ජොහන් හෙරොද්ට කී බැවින්, හෙරෝදියස් ඔහු කෙරේ වෛර බැඳ, ඔහු මරවන්නට අදහස් කරගෙන සිටියා ය. එහෙත්, එය කළ නොහැකි විය. මන්ද, ජොහන් සත්ගුණවත් දැහැමි මිනිසෙකු බව හෙරොද් දැන, ඔහුට බිය ව, ඔහු ආරක්ෂා කළ හෙයිනි. තවද, ඔහුගේ බස් අසා හෙරොද් බොහෝ වියවුල් වුව ද සන්තෝෂයෙන් ඔහුට කන් දුන්නේ ය.
සුදුසු අවස්ථාවක් පැමිණියෙන්, හෙරොද් සිය ජන්මෝත්සව දින, තමාගේ උසස් නිලධාරීන්ට ද ප්‍රධාන සේනාධිපතීන්ට ද ගලීලයේ ප්‍රභූවරයන්ට ද මංගල භෝජනයක් පිළියෙළ කෙළේ ය. එවිට හෙරෝදියස්ගේ දුව එහි පිවිස රඟ පා, හෙරොද්ගේ සහ ඔහු සමඟ භෝජන සංග්‍රහයට පැමිණ සිටි අමුත්තන්ගේ නෙත් සිත් පිනවූවා ය. එකල රජතුමා තරුණියට කතා කොට, “ඔබ කැමැති ඕනෑම දෙයක් මාගෙන් ඉල්ලන්න, එය ඔබට දෙමි”යි කී ය. තවද, “ඉල්ලන ඕනෑම දෙයක්, මාගේ රාජ්‍යයෙන් අඩක් වුවත්, ඔබට දෙමි”යි ඔහු ඇයට දිවුරුම් දුන්නේ ය. ඈ පිටතට ගොස්, “මම කුමක් ඉල්ලම් දැ”යි ඇගේ මවගෙන් ඇසුවා ය. “ස්නාවක ජොහන්ගේ හිස” යයි ඈ කීවා ය. එවිට තරුණිය වහා ම රජු වෙත පැමිණ, “ඔබ ස්නාවක ජොහන්ගේ හිස තැටියක ලා දැන් මට දෙනු මැනව”යි කීවා ය. රජතුමා අතිශයින් ශෝක විය. එහෙත්, ඔහුගේ දිවුරුම නිසා ද, අමුත්තන් නිසා ද, ඈට දුන් පොරොන්දුව කඩ කරන්න අකමැති විය. එකෙණෙහි ම රජතුමා මුර සෙබළෙකු යවමින් ජොහන්ගේ හිස ගෙනෙන්න අණ කෙළේ ය. ඔහු ද ගොස් හිර ගෙයි දී ජොහන්ගේ හිස ගසාදමා එය තැටියක ලා ගෙනවුත්, තරුණියට දුන්නේ ය; තරුණිය ද එය මවට දුන්නා ය. ජොහන්ගේ ගෝලයෝ ඒ ගැන අසා අවුත්, ඔහුගේ මෘත දේහය ගෙන ගොස්, සොහොන් ගෙයක තැන්පත් කළහ.
ප්‍රේරිතයෝ ජේසුස් වහන්සේ වෙත රැස් ව තමන් කළ සියල්ල ද ඉගැන්වූ සියල්ල ද උන් වහන්සේට සැළ කළහ. එවිට උන් වහන්සේ කතා කරමින්, “ඔබ පමණක් වෙන් ව, හුදකලා තැනකට අවුත් මඳ වේලාවක් විවේක ගන්නැ”යි ඔවුන්ට වදාළ සේක. එසේ කීවේ, ඔවුන්ට කෑම කන්න වත් අවකාශයක් නැති තරමට යන එන අය බොහෝ වූ බැවිනි. එවිට ඔව්හු පමණක් ඔරුවෙන් හුදකලා තැනකට ගියෝ ය.