ශුද්ධවර මාක් 15:21-41
ශුද්ධවර මාක් 15:21-41 NRSV
අලෙක්සන්දර්ගේ ද රූපස්ගේ ද පිය වූ පිටිසරින් ආ සිරේනියේ සීමොන් නම් මඟියෙකුට උන් වහන්සේගේ කුරුසිය උසුලාගෙන යන්න ඔව්හු බල කළහ. ඔව්හු කපාලපිටිය යන අර්ථ ඇති ‘ගොල්ගොතා’ නම් තැනට උන් වහන්සේ ගෙන ගියහ. සුවඳලාටු මුසු මුද්‍රික පානය උන් වහන්සේට දෙන ලද්දේ ය. එහෙත්, උන් වහන්සේ එය නොපිළිගත් සේක. ඔව්හු උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගසා, උන් වහන්සේගේ ඇඳුම් තම තමන් අතර බෙදාගනිමින්, එක් එක්කෙනා කුමක් ගන්න දැ යි බලන පිණිස ඒවා ගැන දාදු දැමූ හ. ඔවුන් උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසුවේ හිරු උදා වී තුන් පැයකට පසුව ය. “ජුදෙව්වරුන්ගේ රජ ය”යි උන් වහන්සේ පිළිබඳ චෝදනා පුවරුව ලියා තිබිණි. තවද, ඔව්හු සොරුන් දෙදෙනෙකු එක් කෙනෙකු දකුණු පසෙහි ද එක් කෙනෙකු වම් පසෙහි ද උන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගැසූ හ. ‘උන් වහන්සේ අපරාධකරුවන් සමඟ ගණන්ගනු ලැබූ සේක’ යන ශුද්ධ ලියවිල්ල මෙසේ ඉටු විය. මඟ යන අය හිස් වන වනා උන් වහන්සේට අපහාස කරමින්, “හහා! දේව මාලිගාව වනසාදමා තෙදිනකින් එය ගොඩනඟන ඔබ ම, ගැළවී කුරුසියෙන් බැස එන්නැ”යි කී හ. එලෙස ම නායක පූජකවරු විනයධරයන් සමඟ තම තමන් අතර උන් වහන්සේට කවටකම් කරමින්, “මොහු අනුන් ගැළවී ය, එහෙත් තමා ම ගළවාගන්නට මොහුට නොහැකි ය. අප විසින් දැක අදහන පිණිස, ඉශ්රායෙල්හි රජ වන ක්‍රිස්තුස් දැන් කුරුසියෙන් බසින්නැ”යි කී හ. උන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබුවෝ ද උන් වහන්සේට ගැරහුම් කළහ. මද්දහනේ දී රට පුරා අන්ධකාරයක් පහළ විය. එය සවස තුන වන තෙක් පැවතිණි. සවස තුනට ජේසුස් වහන්සේ, “එලොයි, එලොයි, ලාමා සබහ්(ත්)තානි” කියා මහ හඬින් මොරගැසූ සේක. එහි අර්ථය, “මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත් හැරියේ මක්නිසා ද?” යනුයි. බලා සිටිය අයගෙන් සමහරෙක් ඒ අසා, “අන්න, ඔහු එලියාට හඬගසයි” කී හ. කෙනෙක් දිව ගොස් මූදුහත්තක් විනාකිරෙහි පොඟවා, බට ලීයක ගසා උන් වහන්සේට බොන්න දී, “ටිකක් ඉන්න, මොහු බස්වාලීමට එලියා එන්නේ ද කියා බලමු”යි කී හ. ජේසුස් වහන්සේ මහ හඬක් නඟා අවසන් හුස්ම මුදා හැරිය සේක. එවිට දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකට ඉරී ගියේ ය. උන් වහන්සේ අබිමුවෙහි සිටි ශතාධිපතියා උන් වහන්සේ මෙසේ අවසන් හුස්ම හළ බව දුටු කල, “සැබැවින් ම මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ම ය”යි කී ය. ස්ත්‍රීහු ද දුරින් බලා සිටියහ. ඔවුන් අතර, ගලීලයේ සිටිය දී උන් වහන්සේ පිරිවරා ගොස් උපස්ථාන කළ මග්දලායේ මරියාත්, කුඩා ජාකොබ්ගේ ද ජෝසෙප්ගේ ද මව වූ මරියාත්, සලෝමිත්, උන් වහන්සේ සමඟ ජෙරුසලමට ආ බොහෝ කාන්තාවෝත් සිටියහ.

