ශුද්ධවර මාක් 1:23-45

ශුද්ධවර මාක් 1:23-45 NRSV

එකල ඔවුන්ගේ ධර්මශාලාවෙහි අශුද්ධාත්මයක් ආවේශ වූවෙක් විය. ඔහු මෙසේ මොරහඬ දුනි: “නාසරෙත්හි ජේසුස් වහන්ස, ඔබත් අපත් අතර මොන ගනු දෙනුවක් ද? ඔබ ආවේ අප වනසන්ට ද? ඔබ කවරෙක් දැ යි දනිමි; ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයාණෝ ය.” ජේසුස් වහන්සේ ඔහුට තරවටු කරමින්, “කට පියව; මොහුගෙන් දුරු වෙව”යි වදාළ සේක. එවිට අශුද්ධාත්මය ඔහු වේගයෙන් සලිත කොට, මහහඬින් මොරගසමින් ඔහු කෙරෙන් දුරු විය. ඒ දුටු සියල්ලෝ ම මවිත වී, “මේ කුමක් ද? අලුත් ධර්මයකි! මෙතුමාණෝ බලධාරී කෙනෙකු මෙන්‍ උගන්වති; මුන් වහන්සේ අණ දෙන විට අශුද්ධාත්මයෝ වුව ද කීකරු වෙති”යි කී හ. එකෙණෙහි ම උන් වහන්සේ පිළිබඳ පුවත අවට ගලීලය පුරා දස දෙස පැතිර ගියේ ය. ඔව්හු ධර්මශාලාවෙන් නික්ම ආ කෙණෙහි ම, ජාකොබ් ද ජොහන් ද කැටුව, සීමොන්ගේ හා ඇන්ඩෘගේ ගෙදරට පැමිණියහ. සීමොන්ගේ භාර්යාවගේ මව උණෙන් ඔත්පළ ව සිටියා ය. ඔව්හු වහා ම ඇය ගැන උන් වහන්සේට දැන්වූ හ. උන් වහන්සේ ඇය වෙතට ගොස් ඇගේ අතින් අල්ලා ඇය නැඟිටෙවූ සේක. ඇගේ උණ බැස ගියේ ය. ඈ ඔවුන්ට උපස්ථාන කළා ය. සවස හිරු බැස ගිය පසු සියලු රෝගීන් ද දුෂ්ටාත්මාවේශ වූ අය ද උන් වහන්සේ වෙත ගෙනෙනු ලැබූ හ. නුවර වැසි මුළු ජනතාව දොරකඩ එක්රැස් වූ හ. උන් වහන්සේ විවිධ රෝගවලින් පෙළුණු බොහෝ අය සුව කළ සේක. බොහෝ දුෂ්ටාත්මයන් ද දුරු කළ සේක. තමා කවරෙක් දැ යි ඒ දුෂ්ටාත්මයන් දැන සිටි බැවින් උන් වහන්සේ ඔවුන්ට කතා කිරීමට ඉඩ නුදුන් සේක. හිරු උදාවට බොහෝ කලින් උන් වහන්සේ අවදි ව හුදකලා තැනකට ගොස් එහි යාච්ඤා කළ සේක. සීමොන් සහ ඔහුගේ සහායකයෝ උන් වහන්සේ සොයා ගොස්, සම්මුඛ වී, “හැම දෙන ම ඔබ සොයති”යි පැවසූ හ. උන් වහන්සේ උත්තර දෙමින්, “අන් තැන්වලත් දේශනා කරන පිණිස අපි අවට නුවරවලටත් යමු; මා ආයේ ඒ සඳහා ය”යි වදාළ සේක. උන් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල උගන්වමින් ද දුෂ්ටාත්මයන් දුරු කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක. එකල, ලාදුරු රෝගියෙක් උන් වහන්සේ වෙත අවුත් දණින් වැටී, “ඔබ කැමැති සේක් නම්, මා පවිත්‍ර කරන්න ඔබට හැකි ය”යි අයැද සිටියේ ය. උන් වහන්සේ මහානුකම්පාවෙන් අත දිගු කොට ඔහු පිට තබා, “මම කැමැත්තෙමි, පවිත්‍ර වන්නැ”යි වදාළ සේක. එකෙණෙහි ම ලාදුරු රෝගය පහ වී ඔහු පවිත්‍ර කරනු ලැබී ය. උන් වහන්සේ, “මේ ගැන කිසිවෙකුට කිසිවක් නොකියන ලෙස බලාගන්නැ”යි ඔහුට තදින් අණ දී, “යන්න, පූජකයා ඉදිරියෙහි පෙනී සිටින්න; මෝසෙස්ගේ නියමය පරිදි පවිත්‍රවීමේ සහතිකයක් ලෙස පූජා ඔප්පු කරන්න” කියා ඔහු වහා පිටත් කර යැවූ සේක. එහෙත්, ඔහු ගොස් ඒ මුළු සිද්ධිය ප්‍රසිද්ධ ලෙස කිය කියා, දස දෙස පතුරුවා හැරියේ ය. එහෙයින්, කිසි නුවරකට ප්‍රසිද්ධියේ පිවිසෙන්නට ඉන්පසු උන් වහන්සේට නොහැකි වූයෙන්, ජේසුස් වහන්සේ පාළු පෙදෙස්වල නැවතුණ සේක. එසේ වුව ද, සමූහයා සියලු දිශා භාගවලින් උන් වහන්සේ වෙත පැමිණියහ.

ශුද්ධවර මාක් 1:23-45 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය