ශුද්ධවර මතෙව් 9:9-26

ශුද්ධවර මතෙව් 9:9-26 NRSV

ජේසුස් වහන්සේ එතැනින් යද්දී රේගු පොළේ හුන් මතෙව් නම් මිනිසෙකු දැක, “මා අනුව එන්නැ”යි ඔහුට වදාළ සේක. ඔහු නැඟිට උන් වහන්සේ අනුව ගියේ ය. තවද, ජේසුස් වහන්සේ ඔහුගේ නිවෙසහි වැඩහුන් කල, බොහෝ අයකැමියෝ ද පව්කාරයෝ ද අවුත් උන් වහන්සේ සහ ශ්‍රාවකයන් සමඟ හිඳගත්හ. පරිසිවරු ඒ දැක, “ඔබේ ඇදුරු තුමා අයකැමියන් ද පව්කාරයන් ද සමඟ කෑම කන්නේ මන්දැ”යි උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් ඇසූ හ. උන් වහන්සේ ඒ අසා ඔවුන්ට කතා කොට, “රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත. ‘මම යාග පූජාවට නොව, දයාවට කැමැත්තෙමි’යි යන කීමේ අර්ථය ඔබ ගොස් තේරුම්ගන්න. මා ආයේ දමිටුන් නොව පවිටුන් කැඳවීමට ය”යි වදාළ සේක. එකල ජොහන්ගේ ගෝලයෝ උන් වහන්සේ වෙත අවුත්, “පරිසිවරුත්, අපිත් නිතර උපවාස කරමු. එහෙත්, ඔබේ ශ්‍රාවකයන් උපවාස නොකරන්නේ මන්දැ”යි ඇසූ හ. ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: “මනාලයා තමන් සමඟ සිටිය දී ඔහුගේ ඥාතිමිත්‍රාදීන්ට ශෝක විය හැකි ද? නොහැකි ය. එහෙත්, මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවසක් පැමිණේ. ඔවුන් ඒ දවසේ දී උපවාස කරනු ඇත. “තාන් රෙදිකඩකින් පරණ වස්ත්‍රයකට අණ්ඩයක් දමන කිසිවෙක් නැත; මන්ද, එසේ කළොත්, අණ්ඩයට ගත් රෙදි කඩින් වස්ත්‍රය ඇදී, ඉරුම වඩා ලොකු වේ. නව මිදියුස පරණ බඳුන්වල වත් කරන කිසිවෙක් නැත. වත් කළොත්, බඳුන පැළී, මිදියුස ඉහිරී, බඳුනුත් නාස්ති වන්නේ ය. එසේ නොව, ඔව්හු නව මිදියුස නව බඳුන්වල වත් කරති; එවිට ඒ දෙක ම ආරක්ෂා වේ.” උන් වහන්සේ මේ කරුණු කියමින් සිටිය දී එක්තරා ප්‍රධානියෙක් අවුත් උන් වහන්සේ නැමඳ, “මාගේ දුව මේ දැන් මළා ය. එහෙත්, ඔබ වහන්සේ අවුත් ඈ මත අත තැබුව මැනව; එවිට ඈ ජීවත් වනු ඇතැ”යි කී ය. ජේසුස් වහන්සේ නැඟිට ඔහු පසුපස්සේ ගිය සේක, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ ද එසේ ම කළහ. එවිට දොළොස් වසක් මහ ලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රියක් උන් වහන්සේ පසුපස්සේ අවුත් උන් වහන්සේගේ සළුවේ දාවල්ලට අත තැබුවා ය. එසේ කෙළේ, ‘උන් වහන්සේගේ සළුවට පමණ වත් අත තැබුවහොත් මට සුවය ලැබෙනු ඇතැ’යි ඈ සිතාගත් බැවිනි. ජේසුස් වහන්සේ හැරී ඈ දැක, “දියණියනි, ධෛර්ය ගන්න; ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කෙළේ යැ”යි වදාළ සේක. ඒ ස්ත්‍රිය ඒ මොහොතේ පටන් සුවපත් වූවා ය. ජේසුස් වහන්සේ ප්‍රධානියාගේ ගෙට ඇතුළු වී, නළාකාරයන් ද ඝෝෂා කරමින් සිටි සමූහයා ද දැක, “අහකට යන්න; දැරිය මැරී නැත; ඈ නිදන්නී යැ”යි වදාළ සේක. එවිට ඔව්හු උන් වහන්සේට සරදම් කළහ. එහෙත්, සමූහයා පිට කරනු ලැබූ පසු උන් වහන්සේ ඇතුළු වී ඇගේ අත ඇල්ලූසේක. දැරිය නැඟිට්ටා ය. මේ සිද්ධිය පිළිබඳ පුවත මුළු රට පුරා පතළ විය.

ශුද්ධවර මතෙව් 9:9-26 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය