ශුද්ධවර මතෙව් 9:20-38
ශුද්ධවර මතෙව් 9:20-38 NRSV
එවිට දොළොස් වසක් මහ ලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රියක් උන් වහන්සේ පසුපස්සේ අවුත් උන් වහන්සේගේ සළුවේ දාවල්ලට අත තැබුවා ය. එසේ කෙළේ, ‘උන් වහන්සේගේ සළුවට පමණ වත් අත තැබුවහොත් මට සුවය ලැබෙනු ඇතැ’යි ඈ සිතාගත් බැවිනි. ජේසුස් වහන්සේ හැරී ඈ දැක, “දියණියනි, ධෛර්ය ගන්න; ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කෙළේ යැ”යි වදාළ සේක. ඒ ස්ත්‍රිය ඒ මොහොතේ පටන් සුවපත් වූවා ය. ජේසුස් වහන්සේ ප්‍රධානියාගේ ගෙට ඇතුළු වී, නළාකාරයන් ද ඝෝෂා කරමින් සිටි සමූහයා ද දැක, “අහකට යන්න; දැරිය මැරී නැත; ඈ නිදන්නී යැ”යි වදාළ සේක. එවිට ඔව්හු උන් වහන්සේට සරදම් කළහ. එහෙත්, සමූහයා පිට කරනු ලැබූ පසු උන් වහන්සේ ඇතුළු වී ඇගේ අත ඇල්ලූසේක. දැරිය නැඟිට්ටා ය. මේ සිද්ධිය පිළිබඳ පුවත මුළු රට පුරා පතළ විය. ජේසුස් වහන්සේ එතැනින් යන කල අන්ධයෝ දෙදෙනෙක් මොරගසමින්, “දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට අනුකම්පා කළ මැනව” කියමින් උන් වහන්සේ පසුපස ගියහ. උන් වහන්සේ ගෙට පැමිණි කල ඒ අන්ධයෝ උන් වහන්සේ වෙත ආහ. “මට මෙය කළ හැකි බව ඔබ විශ්වාස කරන්නහු දැ”යි ජේසුස් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. “එසේය, ස්වාමීනි”යි ඔව්හු කී හ. එවිට උන් වහන්සේ ඔවුන්ගේ ඇස් ස්පර්ශ කොට, “ඔබ විශ්වාස කළ ලෙස ම ඔබට වේ වා”යි වදාළ සේක. ඔවුන්ගේ ඇස් පෑදිණි. “කිසිවෙකුට මෙපවත් නොකියන්නැ”යි ජේසුස් වහන්සේ ඔවුන්ට තදින් අණ කළ සේක. එහෙත්, ඔව්හු නික්ම ගොස් උන් වහන්සේ ගැන ඒ පුවත මුළු රට පුරා පතළ කළහ. ඔවුන් පිටත් ව යද්දී දුෂ්ටාත්මාවේශ වූ ගොළුවෙක් උන් වහන්සේ වෙත ගෙනෙන ලද්දේ ය. දුෂ්ටාත්මය දුරු කරනු ලැබූ විට ගොළුවා කතා කරන්නට වන. එකල ජනකාය මවිත ව, “මෙවැන්නක් ඉශ්රායෙල් රටේ කිසි කලෙක දක්නට නොලැබිණි”යි කී හ. එහෙත් පරිසිවරු කතා කරමින්, “මොහු දුෂ්ටාත්මයන් දුරු කරන්නේ දුෂ්ටාත්මාධිපතියාගේ අනුහසින් ය”යි කී හ. ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල උගන්වමින් ද, රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කරමින් ද, හැම අන්දමේ ලෙඩ රෝග සුව කරමින් ද සියලු නුවරවල හා ගම්වල සැරිසැරූ සේක. ජේසුස් වහන්සේ ජනකාය දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් දුක්ගැහැට විඳිමින් විසිර ගොස් සිටි බැවින් ඔවුන්ට අනුකම්පා කළ සේක. එවිට උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, “අස්වැන්න බහුල ය; ගොවීහු විරල ය. එහෙයින් අස්වැන්න කැපීමට ගොවීන් එවන ලෙස අස්වැන්න භාර හිමියා හට අයැදින්නැ”යි වදාළ සේක.

