ශුද්ධවර මතෙව් 5:27-48

ශුද්ධවර මතෙව් 5:27-48 NRSV

“ ‘ කාමමිථ්‍යාචාරය නොකරන්නැ’යි කී බව ඔබ අසා ඇත. එහෙත්, මම ඔබට කියමි, යමෙකු ස්ත්‍රියක දෙස කාමරාගයෙන් බැලූ කෙණෙහි ම ඔහු ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කර ඇත. වරදට වැටීමට හේතුව ඔබේ දකුණැස නම්, එය උගුලා ඉවත ලන්න; මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත. වරදට වැටීමට හේතුව ඔබේ දකුණත නම්, එය කපා දමන්න; මුළු ශරීරය නිරාගත වීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත. “තවද, ‘තමාගේ භාර්යාව දික්කසාද කරන කවරෙකු වුව ද ඇයට දික්කසාද සහතිකයක් දිය යුතු ය’යි කියා ඇත. එහෙත්, මම ඔබට කියමි, වේශ්‍යාකම හැර අන් කරුණක් නිසා සිය භාර්යාව දික්කසාද කරන කවරෙකු වුව ද ඔහු ඇය කාමමිථ්‍යාචාරයට පමුණු වන්නේ ය. එසේ දික්කසාද කරනු ලැබූ ඇය විවාහ කරගන්න යමෙක් වේ ද, ඔහුත් කාමමිථ්‍යාචාරය කරන්නේ ය.” “ ‘ දිවුරුම් කඩ නොකරන්න, සමිඳාණන් වහන්සේට නුඹ දුන් දිවුරුම ඉටු කරන්නැ’යි පැරැන්නන්ට කී බව ඔබ අසා ඇත. එහෙත්, මම ඔබට කියමි, කොහෙත් ම නොදිවුරන්න. ස්වර්ගය දෙවියන් වහන්සේගේ සිංහාසනය බැවින් ඒ නමින් වත්, පොළොව දෙවියන් වහන්සේගේ පා පුටුව බැවින් ඒ නමින් වත්, ජෙරුසලම මහ රජුගේ රාජධානිය බැවින් ඒ නමින් වත් නොදිවුරන්න. එක හිස කෙසක් සුදු කරගන්න හෝ කළු කරගන්න හෝ ඔබට නුපුළුවන් බැවින් හිස නමින් වත් නොදිවුරන්න. ඔබේ අදහස ‘එසේ ය’ කීම නම්, ‘එසේ ය’ කියා ද, ‘නැත’ කීම නම්, ‘නැත’ කියා ද වේ වා. ඊට වැඩිමනත් යමක් ඇද්ද, එය එන්නේ නපුරාගෙන් ය.” “ ‘ඇසට ඇස ය, දතට දත ය’ යන කීම ඔබ අසා ඇත. එහෙත්, මම ඔබට කියමි, එදිරිකාරයාට විරුද්ධ ව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුල ද හරවන්න. යමෙකු නඩු කියා ඔබේ කමිසය ගන්න කැමැති වුවොත්, ඔහුට ඔබේ කබායත් ගන්න අවසර දෙන්න. හේවා නිලධාරියෙකු තම බඩු පොදිය එක කිලෝමීටරයක් දුර උසුලාගෙන යන්න ඔබට බල කළොත්, ඔහු සමඟ එය කිලෝමීටර් දෙකක් උසුලාගෙන යන්න. ඔබෙන් ඉල්ලන්නාට දෙන්න; ඔබෙන් ණයට ගන්න කැමැති අයට පිටු නොපාන්න.” “ ‘නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න, සතුරාට වෛර කරන්නැ’යි කී බව ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න. මෙසේ ඔබ ස්වර්ගයෙහි වැඩ සිටින ඔබේ පියාණන් වහන්සේගේ පුත්‍රයෝ වන්නහු ය. කුමක් නිසා ද, උන් වහන්සේ දුදනන් හට හා සුදනන් හට තම හිරු එළිය උදා කරවන සේක; දමිටුන් හට හා අදමිටුන් හට වැසි වස්වන සේක. ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්නහු නම්, එයින් ඇති විපාකය කුමක් ද? අයකැමියෝ පවා එසේ නොකරත් ද? ඔබේ සහෝදරයන්ට පමණක් ඔබ ආචාර කරන්නහු නම්, එහි ඇති විශේෂය කුමක් ද? විජාතිකයෝ පවා එසේ නොකරත් ද? එබැවින් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ සර්ව සම්පූර්ණ ව සිටින්නාක් මෙන් ඔබ ද සර්ව සම්පූර්ණ වන්න.”