ජේසුස් වහන්සේ ආණ්ඩුකාරයා ඉදිරියෙහි පෙනී සිටි සේක. “ඔබ ජුදෙව්වන්ගේ රජ දැ”යි ඔහු උන් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේ ය. “එසේ කියන්නේ ඔබ ය”යි ජේසුස් වහන්සේ උත්තර දුන් සේක. නායක පූජකවරුන් ද ප්‍රජා මූලිකයන් ද උන් වහන්සේට වරද තැබූ විට, උන් වහන්සේ කිසි උත්තරයක් නුදුන් සේක. එවිට පිලාත්, “මොවුන් ඔබට විරුද්ධ ව නඟන චෝදනා ඇසෙන්නේ නැද්දැ”යි ඇසී ය. එහෙත්, ජේසුස් වහන්සේ එක වචනයකින් පමණ වත් උත්තර නුදුන් සේක. එබැවින් ආණ්ඩුකාරයා අතිශයින් මවිත විය.
මංගල්‍යයේ දී ජනතාව ඉල්ලා සිටින සිරකරුවෙකු ආණ්ඩුකාරයා විසින් නිදහස් කර හරිනු ලැබීමේ සිරිතක් තිබිණි. එකල්හි ජේසුස් බරබ්බස් යයි නම් දැරූ ප්‍රසිද්ධ සිරකරුවෙක් විය. එහෙයින් සෙනඟ රැස් වූ විට, “මා ඔබට කවරෙකු නිදහස් කර දෙනවාට ඔබ කැමැති ද? බරබ්බස් කියන ජේසුස් ද? නැතහොත් ක්‍රිස්තුස් කියන ජේසුස් දැ”යි පිලාත් ඔවුන්ගෙන් ඇසී ය. එසේ ඇසුවේ, ඔවුන් ඊර්ෂ්‍යාවෙන් උන් වහන්සේ පාවා දුන් බව පිලාත් දැන සිටි හෙයිනි.
තවද, ඔහු විනිශ්චයාසනයෙහි සිටිය දී, ඔහුගේ භාර්යාව, “ඒ නිදොස් මනුෂ්‍යයාට කිසිවක් නොකරන්න. ඊයේ රෑ ඔහු නිසා මම සිහිනයකින් බොහෝ දුක් වින්දෙමි”යි පිලාත්ට කියා යැවුවා ය.
එහෙත්, නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද බරබ්බස් ම ඉල්ලන්ටත්, ජේසුස් වහන්සේ නසාලන්ටත් ජනකාය කැමැති කරවාගත්හ. ආණ්ඩුකාරයා ඔවුන්ට උත්තර දෙමින්, “මේ දෙදෙනාගෙන් කවරෙකු මා ඔබට නිදහස් කර දෙනවාට කැමැති දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. “බරබ්බස්” යයි ඔව්හු කී හ. “එසේ නම් ක්‍රිස්තුස් ය කියන ජේසුස්ට මා කුමක් කරන්න දැ”යි පිලාත් ඔවුන්ගෙන් ඇසී ය. “ඔහු කුරුසියේ ඇණ ගසන්නැ”යි සියල්ලෝ ම එක හඬින් කී හ. එවිට ඔහු, “මන් ද? මොහු මොන අපරාධයක් කෙළේ දැ”යි ඇසී ය. එහෙත්, “ඔහු කුරුසියෙහි ඇණ ගසන්නැ”යි ඔව්හු වැඩි වැඩියෙන් හඬ නඟමින් මොරගැසූ හ. මෙසේ කෝලාහලයක් හට ගනු මිස, තමාගේ ප්‍රයත්නයෙන් වැඩක් සිදු නොවන බව දුටු පිලාත්, වතුර ගෙන, ජනකාය ඉදිරියේ අත් සෝදමින්, “මේ මනුෂ්‍යයාගේ ලේ ගැන මම නිදොස් ය. ඔබ ම වගබලා ගන්නැ”යි කී ය. මුළු සමූහයා උත්තර දෙමින්, “ඔහුගේ ලේවල පල විපාකය අප පිට ද අපේ දරුවන් පිට ද වේ වා”යි කී හ. එකල පිලාත්, ඔවුන්ට බරබ්බස් නිදහස් කර දුන්නේ ය. එහෙත්, ඔහු ජේසුස් වහන්සේට තළවා, කුරුසියෙහි ඇණ ගැසීමට භාර දුන්නේ ය.
එකල ආණ්ඩුකාරයාගේ මුරසෙබළෝ ජේසුස් වහන්සේ ප්‍රෙතෝරියම් නම් රජ වාසලට ගෙන ගොස් මුළු සේනාංකය උන් වහන්සේ වෙත රැස් කළහ. ඔව්හු උන් වහන්සේගේ ඇඳුම් ගලවාදමා, නීල-රක්ත සළුවක් උන් වහන්සේට ඇන්දෙව්වෝ ය. තවද ඔව්හු කටු ඔටුන්නක් ගොතා උන් වහන්සේගේ හිස මත තබා, බට දණ්ඩක් දකුණතට දී, උන් වහන්සේ අබිමුවෙහි දණ නමා, “ජුදෙව්වන්ගේ රජුනි, සැරදේ!” කියා උන් වහන්සේට සරදම් කළහ. ඔව්හු උන් වහන්සේට කෙළ ගසා, බට දණ්ඩ ගෙන, උන් වහන්සේගේ හිසට ගැසූ හ. මෙසේ ගැරහුම් කළ පසු ඔව්හු උන් වහන්සේට ඇන්දූ සළුව ගලවා, උන් වහන්සේගේ ම ඇඳුම් අඳවා, උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගසන පිණිස ගෙන ගියහ.
ඔවුන් නික්ම යද්දී සීමොන් නම් කිරේනියේ මනුෂ්‍යයෙකු සම්බ වී, උන් වහන්සේගේ කුරුසිය උසුලාගෙන යන්න ඔව්හු ඔහුට බල කළහ. ඔව්හු කපාල පිටිය යන අර්ථ ඇති ‘ගොල්ගොතා’ නම් ස්ථානයට පැමිණ, තික්ත මිශ්‍ර කළ මුද්‍රික පානය උන් වහන්සේට බොන්න දුන්හ. උන් වහන්සේ එය දිව ගා බලා බොන්න අකමැති වූ සේක. උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසූ පසු, ඔව්හු උන් වහන්සේගේ ඇඳුම් දාදු දමා බෙදාගත්හ. ඔව්හු එහි හිඳගෙන උන් වහන්සේ මුර කළහ. තවද, “මොහු ජුදෙව්වරුන්ගේ රජ වන ජේසුස් ය” කියා උන් වහන්සේ පිළිබඳ චෝදනා පත්‍රය ලියා උන් වහන්සේගේ හිසට ඉහළින් තැබූ හ.
එවිට සොරු දෙදෙනෙක්, එක් කෙනෙක් දකුණු පසෙහි ද එක් කෙනෙක් වම් පසෙහි ද උන් වහන්සේ හා සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ හ. මඟ යන්නෝ තමන් හිස් වන වනා උන් වහන්සේට නින්දා කරමින්, “දේව මාලිගාව කඩාදමා තුන් දවසකින් එය ගොඩනඟන ඔබ, ඔබ ම ගළවාගන්න; ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම්, කුරුසියෙන් බැස එන්නැ”යි කී හ. එම අයුරින් නායක පූජකවරු ද විනයධරයන් හා ප්‍රජා මූලිකයන් සමඟ උන් වහන්සේට කවටකම් කොට, “මොහු අනුන් ගැළෙව්වේ ය; දැන් තමාට ම ගැළවෙන්ට නුපුළුවන; මොහු ඉශ්රායෙල්වරුන්ගේ රජ නොවේ ද? එසේ නම් දැන් කුරුසියෙන් බසී වා, එවිට අපි මොහු විශ්වාස කරන්නෙමු. මොහු දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ ය; උන් වහන්සේ ඔහුට කැමැති සේක් නම් දැන් ඔහු මුදා හරින සේක් වා. මන්ද, ‘මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙමි’යි මොහු කීවේ ය”යි කී හ. උන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ සොරු ද එසේ ම උන් වහන්සේට නින්දා කළහ.
මද්දහනේ සිට අපරභාග තුන දක්වා රට පුරා තද අන්ධකාරයක් පහළ විය. තුනට පමණ ජේසුස් වහන්සේ, “ඒලී, ඒලී, ලාමා සබක්තානී” කියා මහහඬින් මොරගැසූ හ. එහි අර්ථය “මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසා ද” යනු යි. එහි සිටියවුන්ගෙන් සමහරෙක් ඒ අසා, “මොහු එලියා අමතන්නේ ය”යි කී හ. එකෙණෙහි ම ඔවුන්ගෙන් එක් කෙනෙකු දිව ගොස්, මූදු හත්තක්ගෙන ඇඹුල් මිදියුසවල පොඟවා බට දණ්ඩක ගසා, උන් වහන්සේට බොන්න දුන්නේ ය. සෙස්සෝ කතා කොට, “නිකම් ඉන්න, මොහු ගළවන්ට එලියා එන්නේ දැ යි බලමු”යි කී හ. ජේසුස් වහන්සේ යළිත් මහහඬින් හඬගා අවසන් හුස්ම හෙළූ සේක. දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩ ව ඉරුණේ ය; පොළොව කම්පා විය; ගිරිකුළු දෙදරිණි; සොහොන් ගෙවල් විවර විය; දිවංගත ශුද්ධවරයෝ උත්ථාන කරනු ලැබූ හ. උන් වහන්සේගේ පුනරුජ්ජීවනයෙන් පසු, ඔව්හු සොහොන් ගෙවලින් නික්ම ශුද්ධ නුවරට ඇතුළු ව, බොහෝ දෙනෙකුට පෙනුණාහ. ශතාධිපතියා ද ඔහු සමඟ ජේසුස් වහන්සේ මුර කරමින් සිටි අය ද පොළෝකම්පාවත්, සිදු වූ දේත් දැක ඉතා බියපත් ව, “සැබැවින් ම මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය”යි කී හ.