ශුද්ධවර මතෙව් 26:57-63
ශුද්ධවර මතෙව් 26:57-63 NRSV
ජේසුස් වහන්සේ අල්ලාගත් අය උත්තම පූජක කායාපස් වෙතට උන් වහන්සේ ගෙන ගියහ. විනයධරයෝ ද ප්‍රජා මූලිකයෝ ද එහි රැස් වී සිටියහ. එහෙත් පේදුරු, උත්තම පූජකයාගේ මළුව දක්වා උන් වහන්සේ පසුපස්සේ දුරින් ගොස්, එහි ඇතුළු වී, කුමකින් කුමක් වේ දැ යි බලන පිණිස මුර සේවකයන් හා සමඟ හිඳගත්තේ ය. නායක පූජකවරු ද මුළු ශ්‍රේෂ්ඨාධිකරණය ද ජේසුස් වහන්සේ මරණයට පත් කරන පිණිස උන් වහන්සේට විරුද්ධ ව බොරු සාක්ෂි සෙවූ හ. බොහෝ බොරු සාක්ෂිකාරයන් ඉදිරිපත් වූ නමුත්, කිසි සාක්ෂියක් සම්බ නො වී ය. පසුව දෙදෙනෙක් ඉදිරිපත් වී, “ ‘දේව මාලිගාව කඩාදමා එය තුන් දිනකින් යළි ගොඩනඟන්න මට පුළුවන’ කියා මොහු කීවේ ය”යි කී හ. එවිට උත්තම පූජකයා නැඟිට, “ඔබ කිසි උත්තරයක් දෙන්නේ නැද් ද? මොවුන් ඔබට විරුද්ධ ව ගෙනෙන මේ සාක්ෂිය කුමක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. එහෙත්, උන් වහන්සේ නිශ්ශබ්ද ව සිටි සේක. එවිට උත්තම පූජකයා, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍ර වන ක්‍රිස්තුවරයාණෝ දැ යි දිවුරා අපට කියන ලෙස ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබට අණ කරමි”යි උන් වහන්සේට කී ය.


