ශුද්ධවර මතෙව් 26:36-50
ශුද්ධවර මතෙව් 26:36-50 NRSV
එකල ජේසුස් වහන්සේ ඔවුන් හා සමඟ ගෙත්සෙමන නම් වූ තැනට පැමිණ, “මා එතැනට ගොස් යාච්ඤා කරන අතර ඔබ මෙහි සිටින්නැ”යි සිය ශ්‍රාවකයන්ට වදාළ සේක. උන් වහන්සේ පේදුරු ද සෙබදීගේ පුත්‍රයන් දෙදෙනා ද කැඳවාගෙන ගිය සේක. ඉන්පසු උන් වහන්සේ ශෝක වන්ටත්, සන්තාප වන්ටත් පටන්ගත් සේක. එකල උන් වහන්සේ ඔවුන් අමතමින්, “මැරෙන තරමට මාගේ සිත අතිශයින් ශෝකාන්විත ය. ඔබ මෙහි නැවතී මා සමඟ අවදි ව ඉන්නැ”යි වදාළ සේක. උන් වහන්සේ මඳක් ඉදිරියට ගොස් මුණින් වැටී, “අහෝ මාගේ පියාණෙනි, හැකි නම් මේ කුසලාන මා කෙරෙන් පහ කළ මැනව. එහෙත්, මා කැමැති ලෙස නොව, ඔබ කැමැති ලෙස වේ වා”යි යාච්ඤා කළ සේක. උන් වහන්සේ ශ්‍රාවකයන් වෙත අවුත් ඔවුන් නිදා හිඳිනු දැක, පේදුරුට කතා කොට, “සැබැවින් ම මා සමඟ එක පැයක් වත් අවදි ව ඉන්න ඔබට බැරිවුණා ද? ඔබ පරික්ෂාවට නොවැටෙන පිණිස අවදි ව සිට යාච්ඤා කරන්න. හිත නම් කැමැති ය; ගත නම් දුබල ය”යි වදාළ සේක. උන් වහන්සේ නැවත දෙ වන වරටත් නික්ම ගොස්, “අහෝ මාගේ පියාණෙනි, මා විසින් පානය නොකොට මේ කුසලාන පහ කළ නොහැකි නම්, ඔබගේ කැමැත්ත වේ වා”යි කියා යාච්ඤා කළ සේක. උන් වහන්සේ නැවත ආ කල ඔවුන් නිදා හිඳිනු දුටු සේක. ඔවුන්ගේ ඇස් නිදිබර ව තිබිණි. යළිත් උන් වහන්සේ ඔවුන් හැර ගොස්, තුන් වන වරත් එම වචන කියා යාච්ඤා කළ සේක. ඉන්පසු උන් වහන්සේ ශ්‍රාවකයන් වෙතට අවුත්, “ඔබ තවමත් නිදාගෙන විඩා හරිමින් සිටින්නහු ද? මෙන්න, නියමිත මොහොත ළං වී ඇත; මනුෂ්‍ය-පුත්‍රයාණෝ පවිටුන් අතට පාවා දෙනු ලබන සේක. නැඟිටින්න, අපි යමු. අන්න, මා පාවා දෙන්නා ඉතා ළඟ ය”යි වදාළ සේක. උන් වහන්සේ කතා කරද්දී, දොළොස් දෙනාගෙන් කෙනෙකු වන ජූදස් ද, ඔහු සමඟ නායක පූජකයන් හා ප්‍රජා මූලිකයන් වෙතින් යවන ලද කඩු මුගුරු ගත් මහත් ජනකායක් ද එහි පැමිණියහ. උන් වහන්සේ පාවා දෙන්නා, “මම යමෙකු සිඹිම් ද, ඔබ සොයන තැනැත්තා ඔහු ය; ඔහු අල්ලාගන්න” කියා ඔවුන්ට ලකුණක් දී තිබිණි. එකෙණෙහි ම ඔහු ජේසුස් වහන්සේ වෙතට අවුත්, “ගුරුදේවයෙනි, ඔබට සෙත් වේ!” කියා උන් වහන්සේ සිඹගත්තේ ය. ජේසුස් වහන්සේ ද, “මිත්‍රය, ඔබ කරන්න ආ දෙය කරන්නැ”යි ඔහුට වදාළ සේක. එවිට ඔව්හු අවුත්, ජේසුස් වහන්සේ අත්අඩංගුවට ගෙන, තදින් අල්ලාගත්හ.


