ශුද්ධවර මතෙව් 26:20-28

ශුද්ධවර මතෙව් 26:20-28 NRSV

සවස් වූ කල උන් වහන්සේ ප්‍රේරිතයන් දොළොස් දෙනා සමඟ කෑමට හිඳගත් සේක. ඔවුන් කෑම කමින් සිටිය දී, උන් වහන්සේ කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි, ඔබෙන් කෙනෙක් මා පාවා දෙන්නේ ය”යි වදාළ සේක. ඔව්හු අතිශයින් ශෝක ව එකිනෙකා, “ස්වාමීනි, ඒ මම දැ”යි අසන්න පටන් ගත්හ. උන් වහන්සේ උත්තර දෙමින්, “මා සමඟ එක පාත්‍රයේ අතලන තැනැත්තේ මා පාවා දෙන්නේ ය. මනුෂ්‍ය-පුත්‍රයාණන් ගැන ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන ලෙස ම ඔහු නියමිත ගමන යන්නේ ය. එහෙත්, මනුෂ්‍ය-පුත්‍රයාණන් පාවා දෙන යම් මනුෂ්‍යයෙක් වේ ද, ඔහුට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නේ නම් වඩා හොඳ ය”යි වදාළ සේක. උන් වහන්සේ පාවා දුන් ජූදස් උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, ඒ මම දැ”යි ඇසී ය. “වෙන කවුදැ”යි උන් වහන්සේ ඔහුට වදාළ සේක. ඔවුන් කෑම කමින් සිටිය දී ජේසුස් වහන්සේ රොටි ගෙන ආශීර්වාදය පවසා ඒවා කඩා ශ්‍රාවකයන්ට දී, “රැගෙන වළඳන්න, මේ මාගේ ශරීරය”යි වදාළ සේක. උන් වහන්සේ කුසලානක් ද ගෙන තුති පුදා ඔවුන්ට දී, “ඔබ සියල්ලෝ ම මෙයින් පානය කරන්න. මෙය පව් කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවනු ලබන මාගේ ගිවිසුම් රුධිරය වේ.