තවද දොළොස් දෙනාගෙන් කෙනෙකු වූ ජූදස් ඉස්කාරියොත් නායක පූජකයන් වෙත ගොස්, “ජේසුස් වහන්සේ ඔබට පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ කුමක් දැ”යි ඇසී ය. ඔව්හු රිදී කාසි තිහක් කිරා ඔහුට දුන්හ. එතැන් පටන් ඔහු උන් වහන්සේ පාවා දීමට සුදුසු අවස්ථාවක් සෙවී ය.
නුමුහුන් රොටි මංගල්‍යයේ පළමු වන දින ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත්, “පාස්කු භෝජනය වළඳන පිණිස අප කොතැන පිළියෙළ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි ඇසූ හ. ජේසුස් වහන්සේ ද, “ඔබ නගරයේ සිටින අසවල් මනුෂ්‍යයා වෙතට ගොස්, ‘මාගේ නියමිත මොහොත ළං ව ඇත; මාගේ ශ්‍රාවකයන් සමඟ ඔබේ නිවසේ දී පාස්කු භෝජනය පවත්වමි යි ගුරුදේවයන් වහන්සේ කියන සේකැ’යි ඔහුට දන්වන්නැ”යි වදාළ සේක. ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ ඔවුන්ට අණ කළ ලෙස පාස්කු භෝජනය පිළියෙළ කළහ. සවස් වූ කල උන් වහන්සේ ප්‍රේරිතයන් දොළොස් දෙනා සමඟ කෑමට හිඳගත් සේක. ඔවුන් කෑම කමින් සිටිය දී, උන් වහන්සේ කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි, ඔබෙන් කෙනෙක් මා පාවා දෙන්නේ ය”යි වදාළ සේක. ඔව්හු අතිශයින් ශෝක ව එකිනෙකා, “ස්වාමීනි, ඒ මම දැ”යි අසන්න පටන් ගත්හ. උන් වහන්සේ උත්තර දෙමින්, “මා සමඟ එක පාත්‍රයේ අතලන තැනැත්තේ මා පාවා දෙන්නේ ය. මනුෂ්‍ය-පුත්‍රයාණන් ගැන ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන ලෙස ම ඔහු නියමිත ගමන යන්නේ ය. එහෙත්, මනුෂ්‍ය-පුත්‍රයාණන් පාවා දෙන යම් මනුෂ්‍යයෙක් වේ ද, ඔහුට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නේ නම් වඩා හොඳ ය”යි වදාළ සේක. උන් වහන්සේ පාවා දුන් ජූදස් උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, ඒ මම දැ”යි ඇසී ය. “වෙන කවුදැ”යි උන් වහන්සේ ඔහුට වදාළ සේක.
ඔවුන් කෑම කමින් සිටිය දී ජේසුස් වහන්සේ රොටි ගෙන ආශීර්වාදය පවසා ඒවා කඩා ශ්‍රාවකයන්ට දී, “රැගෙන වළඳන්න, මේ මාගේ ශරීරය”යි වදාළ සේක. උන් වහන්සේ කුසලානක් ද ගෙන තුති පුදා ඔවුන්ට දී, “ඔබ සියල්ලෝ ම මෙයින් පානය කරන්න. මෙය පව් කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවනු ලබන මාගේ ගිවිසුම් රුධිරය වේ. මාගේ පියාණන්ගේ රාජ්‍යයෙහි දී මා ඔබ සමඟ අලුත් මිදියුස පානය කරන දවස එන තුරු මෙතැන් පටන් මේ මිදියුස තවත් නොබොන්නෙමි යි ඔබට කියමි”යි වදාළ සේක. ඔව්හු ගීතයක් ගයා නිම කොට ඔලීව කන්දට නික්ම ගියහ.
තවද ජේසුස් වහන්සේ ශ්‍රාවකයන්ට කතා කොට, “ඔබ හැම දෙන ම අද රාත්‍රියෙහි මා නිසා අධෛර්යයට පත් වන්නහු ය. මන්ද, ‘මම එඬේරාට පහර දෙන්නෙමි, එවිට රැළේ බැටළුවෝ විසුරුවනු ලබන්නෝ ය’යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා තිබේ. “එහෙත්, මම උත්ථාන කරනු ලැබූ පසු ඔබට පෙරටුව ගලීලයට යමි”යි වදාළ සේක. පේදුරු උන් වහන්සේට උත්තර දෙමින්, “අන් හැම දෙන ම ඔබ නිසා අධෛර්ය වුවත් මම නම් කවදාවත් අධෛර්ය නොවන්නෙමි”යි කී ය. ජේසුස් වහන්සේ ද, “සැබැවින් ම මම ඔබට කියමි, අද රෑ කුකුළා අඬලන්නට පෙර ඔබ මා හඳුනන්නේ නැත කියා තුන් වරක් කියන්නෙහි ය”යි ඔහුට වදාළ සේක. පේදුරු, “ඔබ සමඟ මැරෙන්න සිදුවුණත්, මම ඔබ නාඳුනමි යි කවදාවත් කියන්නේ නැතැ”යි උන් වහන්සේට කී ය. සියලු ශ්‍රාවකයෝ ද එසේ ම කී හ.