ශුද්ධවර මතෙව් 22:27-40
ශුද්ධවර මතෙව් 22:27-40 NRSV
සියල්ලන්ට පසුව ස්ත්‍රිය ද මළා ය. ඒ හැම දෙනා ම ඇය පාවාගත් හෙයින් පුනරුජ්ජීවනයේ දී ඈ ඒ සත් දෙනාගෙන් කාගේ භාර්යාව වන්නී ද?” ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක: “ඔබ ශුද්ධ ලියවිලි වත්, දෙවියන් වහන්සේගේ බලපරාක්‍රමය වත් නොදත්කමෙන් නොමඟ යන්නහු ය. මන්ද, පුනරුජ්ජීවනයේ දී මිනිසුන්ට ආවාහ වීමක් හෝ විවාහ වීමක් හෝ නැත; ඔව්හු ස්වර්ගයෙහි දේව දූතයන් මෙන් වෙති. තවද, පුනරුජ්ජීවනය සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ ඔබට වදාළ මේ දේ ඔබ කියවා නැද් ද? ‘ මම ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ය; ඊසාක්ගේ දෙවියන් වහන්සේ ය; ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ය. උන් වහන්සේ මළවුන්ගේ දෙවියන් වහන්සේ නොව ජීවතුන්ගේ දෙවියන් වහන්සේ ය.” සමූහයෝ ඒ අසා, උන් වහන්සේගේ ඉගැන්වීම් ගැන විස්මපත් වූ හ. උන් වහන්සේ සද්දුසිවරුන් නිරුත්තර කළ බව අසා පරිසිවරු එක්රැස් වූ හ. ඔවුන් අතරෙන් විනයධරයෙක් උන් වහන්සේ පරීක්ෂා කරමින්, “ගුරුදේවයිනි, ව්‍යවස්ථාවලියෙහි ශ්‍රේෂ්ඨතම ආඥාව කිමෙක් දැ”යි ඇසී ය. උන් වහන්සේ ඔහුට කතා කොට, “ ‘නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු සිතින් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න.’ මෙය ශ්‍රේෂ්ඨතම පළමු වන ආඥාව ය. දෙ වන ආඥාව ද එයට සමාන ය. එනම්, ‘නුඹ, නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න’ යනුයි. මුළු ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය රඳා ඇත්තේ මේ ආඥා දෙක මත ය”යි වදාළ සේක.

