ශුද්ධවර මතෙව් 2:7-15
ශුද්ධවර මතෙව් 2:7-15 NRSV
එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් රහසින් කැඳවා, තාරකාව පෙනුණු වේලාව ඔවුන්ගෙන් හොඳින් දැනගෙන, “ඔබ ගොස් ඒ ළදරුවා ගැන හරි ලෙස විමසන්න; ඔබ විමසා සොයාගත් පසු, මාත් ගොස් උන් වහන්සේට නමස්කාර කරනු පිණිස මටත් දන්වන්න” කියා, ඔවුන් බෙත්ලෙහෙමට යැවී ය. රජුගේ බස් අසා ඔව්හු පිටත් ව ගියහ. පෙරදිග දී ඔවුන් දුටු තාරකාව, ළදරුවා සිටි තැනට අවුත් ඉහළින් නවතින තුරු, ඔවුන්ට පෙරටුවෙන් ගියේ ය. තාරකාව දැක ඔව්හු අතිශයින් ප්‍රීති ප්‍රමෝද වූ හ. ඔව්හු ගෙට පිවිස, ළදරුවා සිය මව වූ මරිය තුමී හා සමඟ සිටිනු දැක, පසඟ පිහිටුවා වැඳ, සිය කරඬු ඇර රන් ද, තුවරලා ද, ගන්ධරස ද යන පඬුරු උන් වහන්සේට පිදූ හ. තවද, හෙරොද් වෙත ආපසු නොයන ලෙස සිහිනයකින් දන්වනු ලැබූ ඔව්හු අන් මඟකින් සිය රට බලා ගියහ. ඔවුන් ගිය පසු සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ජෝසෙප්ට දර්ශනය වී, ඔහු අමතා, “නැඟිට ළදරුවා ද උන් වහන්සේගේ මෑණියන් ද රැගෙන මිසරයට ගොස්, මා දන්වන තුරු එහි නවතින්න. මන්ද, හෙරොද් රජ ළදරුවා මරාදැමීමට සොයති”යි කී ය. ඔහු රාත්‍රියෙහි නැඟිට ළදරුවා ද උන් වහන්සේගේ මෑණියන් ද රැගෙන මිසරයට ගොස්, හෙරොද්ගේ මරණය දක්වා එහි සිටියේ ය. මෙසේ වූයේ, “මිසරයෙන් මාගේ පුත්‍රයා කැඳවාගතිමි”යි කියා සමිඳාණන් වහන්සේ විසින් දිවැසිවරයා කරණකොටගෙන කියන ලද කීම ඉටු වනු පිණිස ය.

