ශුද්ධවර මතෙව් 19:1-12

ශුද්ධවර මතෙව් 19:1-12 NRSV

තවද ජේසුස් වහන්සේ මේ වචන වදාරා නිම කොට, ගලීලයෙන් නික්ම ජොර්දානෙන් එගොඩ ජුදයේ පළාත්වලට පැමිණි සේක. මහා ජනකායක් උන් වහන්සේ පසුපස්සේ ගියහ. උන් වහන්සේ එහි දී ඔවුන් සුවපත් කළ සේක. පරිසිවරු උන් වහන්සේ වෙතට පැමිණ උන් වහන්සේ වචනයකින් අල්ලාගන්නා පිණිස, “යමෙකු විසින් කුමන කරුණක් නිසා වත් සිය භාර්යාව දික්කසාද කිරීම නීතියට අනුකූල දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. උන් වහන්සේ උත්තර දෙමින්, “පටන් ගැන්මේ සිට ම මැවුම්කාරයාණන් පිරිමි ගැහැණු වශයෙන් මනුෂ්‍ය වර්ගයා මැවූ බව ඔබ කියවා නැද් ද? ඒ නිසා මිනිසෙකු තම පියා ද මව ද අත්හැර සිය භාර්යාවට ඇලුම් වන බවත්, ඒ යුවල එක් කෙනෙකු වන බවත් දෙවියන් වහන්සේ වදාළ සේක. මෙසේ ඔව්හු එවක් පටන් දෙදෙනෙකු නොව එක් කෙනෙක් වෙති. එබැවින් දෙවියන් වහන්සේ එක් කළ අය මනුෂ්‍යයා වෙන් නොකෙරේ වා”යි වදාළ සේක. ඔව්හු කතා කොට, “එසේ වී නම් දික්කසාද සහතිකයක් දී ඇය අත් හරින්න මෝසෙස් අණ කෙළේ මන්දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. උන් වහන්සේ පිළිතුරු දෙමින්, “මෝසෙස් ඔබගේ භාර්යාවන් දික්කසාද කිරීමට අවසර දුන්නේ ඔබගේ සිත් දැඩිකම නිසා ය. එහෙත්, පටන් ගැන්මේ සිට එසේ නො වී ය”යි ඔවුන්ට වදාළ සේක. “තවදුරටත් මම ඔබට මෙසේ කියමි: වේශ්‍යාකම නිසා මිස තම භාර්යාව දික්කසාද කොට වෙන ස්ත්‍රියක සරණ පාවා ගන්න කවරෙක් නමුත් කාමමිථ්‍යාචාරය කරන්නේ ය; දික්කසාද කරනු ලැබූ ඒ ස්ත්‍රිය විවාහ කරගන්නා ද කාමමිථ්‍යාචාරය කරන්නේ ය.” ශ්‍රාවකයෝ උන් වහන්සේට කතා කොට, “ස්ත්‍රිය හා පුරුෂයා අතර සම්බන්ධය මෙසේ නම්, විවාහ නොවී සිටීම වඩා හොඳ ය”යි කීහ. එහෙත්, උන් වහන්සේ ඔවුන්ට කතා කරමින්, “දේව වරමක් ලැබූ අයට මිස, හැම දෙනාට ම මේ ප්‍රතිපත්තිය පිළිපැදිය නොහැකි ය. මන්ද, උත්පත්තියෙන් ම විවාහ විය නොහැකි අය සිටිති; මනුෂ්‍ය බලපෑම නිසා විවාහ විය නොහැකි අය ද සිටිති; ස්වර්ග රාජ්‍යය අරභයා සිය කැමැත්තෙන් ම විවාහ නොවන අයත් සිටිති. මේ තත්ත්වය පිළිගන්න හැකි තැනැත්තේ පිළිගනී වා”යි වදාළ සේක.

ශුද්ධවර මතෙව් 19:1-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය