ශුද්ධවර මතෙව් 18:1-22

ශුද්ධවර මතෙව් 18:1-22 NRSV

එවේලෙහි ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත්, “ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුම් වන්නේ කවරෙක් දැ”යි ඇසූහ. එවිට උන් වහන්සේ කුඩා දරුවෙකු තමන් වෙතට කැඳවා ඔවුන් මැද සිටුවා මෙසේ වදාළ සේක: “සැබැවින් ම මම ඔබට කියමි, ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවූවොත්, කිසි සේත් ස්වර්ග රාජ්‍යයට ඇතුළු නො වන්නහු ය. එබැවින් මේ කුඩා දරුවා මෙන් යටහත් වන යමෙක් ඇද්ද, ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුම් වන්නේ ඔහු ය. තවද, යමෙක් මාගේ නාමයෙන් මෙවැනි කුඩා දරුවෙකු පිළිගන්නේ ද ඔහු මා පිළිගන්නේ ය.” “මා කෙරෙහි අදහාගත් මේ බාලයන්ගෙන් එකෙකු වත් නොමඟ යවන යමෙක් වේ ද, ඔහුගේ ගෙළ වටා මහා ඇඹරුම් ගලක් එල්ලා මුහුදු ගැඹුරෙහි ගිල්වා දැමීම ඔහුට යහපත. මෙවැනි බාධා ලොවේ ඇතිවීම කොතරම් දුකක් ද? බාධා ඇතිවීම නියත ය; එසේ වුව ද යමෙකු නිසා බාධා ඇති වේ ද, ඒ තැනැත්තාට වන විපතක මහත! ඔබගේ වැටීමට හේතුව ඔබගේ අත හෝ පය හෝ වේ නම්, එය කපා ඉවත ලන්න. දෑත දෙපා ඇති ව සදාතන ගින්නට හෙළනු ලැබීමට වඩා අබ්බාගාත ව නොහොත් කොර ව ජීවනයට පිවිසීම ඔබට යහපත ය. ඔබගේ වැටීමට හේතුව ඔබගේ ඇස නම්, එය උපුටා අහක දමන්න. දෑස ඇති ව නිරාගින්නට හෙළනු ලැබීමට වඩා එක ඇසක් ඇති ව ජීවනයට පිවිසීම ඔබට යහපත.” “මේ බාලයන්ගෙන් එකෙකු වත් හෙළා නොදැකීමට වගබලාගන්න. මන්ද, ‘ස්වර්ගයෙහි ඔවුන්ගේ දේව දූතයෝ ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි නිරතුරු ම සිටිති’යි මම ඔබට කියමි. මනුෂ්‍ය-පුත්‍රයාණන් වැඩියේ, නැති වූවන් ගළවා ගන්නා පිණිස ය. “ඔබ කුමක් සිතන්නහු ද? බැටළුවන් සියයක් ඇති යම් මිනිසෙක්, උන්ගෙන් එකෙකු මුළා ව ගියොත්, ඉතිරි අනූ නවදෙනා කඳුකරයේ ඉන්න හැර, මුළා ව ගිය එකා සොයා යන්නේ නැද් ද? සැබැවින් ම ඔබට කියමි, ඌ සම්බ වුනොත් මුළා ව නොගිය අනූනව දෙනා ගැන ප්‍රීති වෙනවාට වඩා ඌ ගැන ප්‍රීති වන්නේ ය. එසේ ම මේ බාලයන් එක් කෙනෙකු වත් විනාශ වීම ස්වර්ගයෙහි වැඩ වසන ඔබගේ පියාණන් වහන්සේගේ කැමැත්ත නො වේ.” “ඔබගේ සහෝදරයා ඔබට විරුද්ධ ව පව් කළොත්, පෞද්ගලික ව ඔහු හමු වී ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔබ කියන දේ ඔහු පිළිගත්තොත්, ඔබ ඔබේ සහෝදරයා දිනාගත්තෙහි ය. නොපිළිගත්තොත්, සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන් දෙනෙකුගේ හෝ සාක්ෂියෙන් හැම පැමිණිල්ලක් ම ස්ථීර වන පිණිස ඔබ සමඟ තවත් එක් කෙනෙකු නොහොත් දෙදෙනෙකු කැඳවාගෙන යන්න. ඔහු ඔවුන් කියන දේත් නොපිළිගත්තොත්, සභාවට දන්වන්න. සභාව කියන දේත් නොපිළිගත්තොත්, ඔහු විජාතිකයෙකු හෝ අයකැමියෙකු මෙන් සලකන්න. “සැබැවින් ම මම ඔබට කියමි, ඔබ පොළොවෙහි දී යමක් බඳින්නහු ද, එය ස්වර්ගයෙහි දී බඳිනු ලබන්නේ ය. ඔබ පොළොවෙහි දී යමක් මුදන්නහු ද, එය ස්වර්ගයෙහි දී මුදනු ලබන්නේ ය. “නැවතත් මම ඔබට කියමි, පොළොවෙහි ඔබෙන් දෙදෙනෙක් තමන් අයැදින කවර දෙයක් ගැන වුව ද එකඟ වන්නෝ නම්, ස්වර්ගයෙහි වසන මාගේ පියාණන් වහන්සේගෙන් ඒ දෙය ඔවුන්ට ලැබෙන්නේ ය. මන්ද, යම් තැනක දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් රැස් ව සිටිත් ද එතැන ඔවුන් මැද මමත් වැඩ සිටිමි.” එකල පේදුරු උන් වහන්සේ වෙතට අවුත්, “ස්වාමීනි, මට විරුද්ධ ව පව් කරන මාගේ සහෝදරයාට මා කී වාරයක් කමා විය යුතු ද? සත් වාරයක් දක්වා දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, “සත් වාරයක් නොව, සත් වාර සැත්තෑවකි.

ශුද්ධවර මතෙව් 18:1-22 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය