ශුද්ධවර මතෙව් 15:21-31
ශුද්ධවර මතෙව් 15:21-31 NRSV
ජේසුස් වහන්සේ එතැනින් නික්ම තීර් හා සීදොන් පෙදෙස්වලට වැඩිය සේක. එක් කානානිය ස්ත්‍රියක් ඒ පෙදෙස්වල සිට අවුත්, “දාවිත්ගේ පුත්‍ර වූ ස්වාමීනි, මට අනුකම්පා කළ මැනව; මාගේ දුව බලවත් සේ දුෂ්ටාත්මාවේශ ව සිටින්නී ය”යි කියමින් මොරගැසුවා ය. එහෙත් උන් වහන්සේ ඇයට වචනයකින් වත් පිළිතුරු නුදුන් සේක. උන් වහන්සේගේ ශ්‍රාවකයෝ අවුත්, “මේ ස්ත්‍රිය මොරගසමින් අප පස්සේ එන බැවින්, ඇයට යන්න කිව මැනවැ”යි උන් වහන්සේගෙන් ඉල්ලූ හ. උන් වහන්සේ කතා කරමින්, “මා එවන ලද්දේ ඉශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණකැ”යි වදාළ සේක. එහෙත්, ඈ අවුත් පසඟ පිහිටුවා උන් වහන්සේට වැඳ, “ස්වාමීනි, මට පිහිට වුව මැනවැ”යි කීවා ය. උන් වහන්සේ උත්තර දෙමින්, “දරුවන්ගේ කෑම ගෙන බල්ලන්ට දැමීම යුතු නැතැ”යි වදාළ සේක. එහෙත් ඈ කතා කොට, “එසේ ය, ස්වාමීනි, බල්ලන් පවා තම ස්වාමිවරුන්ගේ මේසයෙන් වැටෙන කැබලි අවුලා කති”යි කීවා ය. එවිට ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ස්ත්‍රිය, ඔබේ ඇදහිල්ල මහත් ය. ඔබේ කැමැත්ත ලෙස ම ඔබට වේ වා”යි වදාළ සේක. ඒ මොහොතේ පටන් ඇගේ දුව සුවපත් වූවා ය. ජේසුස් වහන්සේ එතැනින් නික්ම, ගලීලයේ මුහුද ළඟට ගොස්, කන්දකට නැඟී වැඩහුන් සේක. මහත් ජනකායක්, කොරුන් ද අබ්බාගාතයන් ද අන්ධයන් ද ගොළුවන් හා වෙනත් බොහෝ දෙනෙකුන් ද රැගෙන, ජේසුස් වහන්සේ වෙත අවුත් ඔවුන් උන් වහන්සේගේ පාමුල තැබූ හ. උන් වහන්සේ ඔවුන් සුවපත් කළ සේක. එවිට ගොළුවන් කතා කරන බව ද, අබ්බාගාතයන් සුවපත් වී ඉන්න බව ද, කොරුන් ඇවිදින බව ද, අන්ධයන්ට ඇස් පෙනෙන බව ද දුටු ජනකාය පුදුම වී ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.


