ශුද්ධවර මතෙව් 15:1-28

ශුද්ධවර මතෙව් 15:1-28 NRSV

එකල ජෙරුසලමෙන් පරිසිවරු ද විනයධරයෝ ද ජේසුස් වහන්සේ වෙත අවුත් “ඔබේ ශ්‍රාවකයන් පරම්පරාගත සම්ප්‍රදායයන් කඩ කරන්නේ මන් ද? ඔව්හු අත් නොසෝදා ආහාර අනුභව කරති”යි කී හ. උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: “ඔබේ පරම්පරාගත සම්ප්‍රදායයන් පිළිපදින පිණිස ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව කඩ කරන්නේ මන් ද? ‘නුඹේ පියාට ද මවට ද ගෞරව කරන්න; පියා ගැන හෝ මවු ගැන හෝ අපවාද කියන්නා මරණය වින්ද යුතු ම ය’යි දෙවියන් වහන්සේ වදාළ සේක. එහෙත්, කවරෙක් වුව ද පියාට හෝ මවට හෝ කතා කොට, ‘මම ඔබේ යහපත පිණිස දිය යුතු ව තිබුණු දීමනාව දෙවියන්ට පඬුරක් ලෙස කැප කෙළෙමි’යි කීමෙන් පසුව, පියාට ගෞරව කිරීමට ඔහු බැඳී නැතැ යි ඔබ කියන්නහු ය. මෙසේ ඔබ තමන්ගේ පරම්පරාගත සම්ප්‍රදාය නිසා දෙවියන් වහන්සේගේ ආඥා අවලංගු කළහු ය. කෛරාටිකයෙනි, යෙසායා ඔබ ගැන කී මේ දිවැස් වැකිය මැනවින් ඔබට ගැළපේ. ‘මුවින් මේ සෙනඟ මට ගරු කරති; සිතින් නම් මාගෙන් දුරු ව සිටිති. මිනිස් ඔවා දෙව් දහම් සේ උගන්වමින්, නිකරුණේ මා නමදිති.’ “ උන් වහන්සේ සමූහයා කැඳවා ඔවුන්ට කතා කොට, “ඔබ සවන් දී හොඳින් තේරුම්ගන්න. මිනිසා කෙලෙසනු ලැබීමට හේතු වන්නේ කටට ඇතුළු වන දේ නොව, කටින් නික්මෙන දේ ය”යි වදාළ සේක. එවිට ශ්‍රාවකයෝ අවුත්, “ඔබගේ ඒ කීම අසා, පරිසිවරුන් තදින් අමනාප වූ බව ඔබ වහන්සේ දන්නා සේක් දැ”යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කළහ. උන් වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ විසින් රෝපණය නොකරන ලද සියලු පැළෑටි උදුරා දමනු ලබන්නේ ය. පරිසිවරුන්ගෙන් අපට කමක් නැත. ඔව්හු අන්ධයන්ගේ අන්ධ මාර්ගෝපදේශකයෝ ය. අන්ධයෙකු තව අන්ධයෙකුට මඟ පෙන්වන්නට ගියොත්, දෙදෙන ම වළක වැටෙනු ඇතැ”යි වදාළ සේක. එවිට පේදුරු කතා කොට, “මේ උපමාව අපට පහදා දුන මැනවැ”යි උන් වහන්සේට කී ය. උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: “ඔබට තවමත් තේරෙන්නේ නැද් ද? කටට ඇතුළු වන සියල්ල උදරයට බැස, වැසිකිළියට යන බව ඔබට වැටහෙන්නේ නැද් ද? එහෙත්, කටින් පිටවන දේ නික්මෙන්නේ සිතින් ය; මිනිසා කෙලෙසනු ලබන්නේ එයින් ය. නපුරු චේතනා, මිනීමැරුම්, කාමරාග, සල්ලාලකම්, සොරකම්, බොරු සාක්ෂි සහ අපහාස නික්මෙන්නේ හදවතින් ය. මිනිසා කෙලෙසනු ලබන්නේ මෙකී දේවලින්. එහෙත්, අත් නොසෝදා කෑමෙන් මිනිසා කෙලෙසනු නොලබන්නේ ය.” ජේසුස් වහන්සේ එතැනින් නික්ම තීර් හා සීදොන් පෙදෙස්වලට වැඩිය සේක. එක් කානානිය ස්ත්‍රියක් ඒ පෙදෙස්වල සිට අවුත්, “දාවිත්ගේ පුත්‍ර වූ ස්වාමීනි, මට අනුකම්පා කළ මැනව; මාගේ දුව බලවත් සේ දුෂ්ටාත්මාවේශ ව සිටින්නී ය”යි කියමින් මොරගැසුවා ය. එහෙත් උන් වහන්සේ ඇයට වචනයකින් වත් පිළිතුරු නුදුන් සේක. උන් වහන්සේගේ ශ්‍රාවකයෝ අවුත්, “මේ ස්ත්‍රිය මොරගසමින් අප පස්සේ එන බැවින්, ඇයට යන්න කිව මැනවැ”යි උන් වහන්සේගෙන් ඉල්ලූ හ. උන් වහන්සේ කතා කරමින්, “මා එවන ලද්දේ ඉශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණකැ”යි වදාළ සේක. එහෙත්, ඈ අවුත් පසඟ පිහිටුවා උන් වහන්සේට වැඳ, “ස්වාමීනි, මට පිහිට වුව මැනවැ”යි කීවා ය. උන් වහන්සේ උත්තර දෙමින්, “දරුවන්ගේ කෑම ගෙන බල්ලන්ට දැමීම යුතු නැතැ”යි වදාළ සේක. එහෙත් ඈ කතා කොට, “එසේ ය, ස්වාමීනි, බල්ලන් පවා තම ස්වාමිවරුන්ගේ මේසයෙන් වැටෙන කැබලි අවුලා කති”යි කීවා ය. එවිට ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ස්ත්‍රිය, ඔබේ ඇදහිල්ල මහත් ය. ඔබේ කැමැත්ත ලෙස ම ඔබට වේ වා”යි වදාළ සේක. ඒ මොහොතේ පටන් ඇගේ දුව සුවපත් වූවා ය.