ශුද්ධවර මතෙව් 12:1-23

ශුද්ධවර මතෙව් 12:1-23 NRSV

එකල සබත් දිනක දී ජේසුස් වහන්සේ කෙත් යායක් මැදින් වැඩිය සේක. උන් වහන්සේගේ ශ්‍රාවකයෝ බඩගිනි ව කරල් කඩා කන්නට පටන්ගත්හ. පරිසිවරු ඒ දැක, “බලන්න, ඔබේ ශ්‍රාවකයෝ සබත් දිනයේ දී නොකටයුත්තක් කරති”යි කී හ. උන් වහන්සේ කතා කොට ඔවුන්ට මෙසේ වදාළ සේක: “දාවිත් රජු තමාට ද සිය පිරිවරට ද බඩගිනි වූ කල්හි කළ දේ, එනම්, දෙවියන් වහන්සේගේ ගෘහයට ඇතුළු ව, පූජකයන්ට මිස තමාට වත්, තම පිරිවරට වත් කන්න යුතු නැති පිදූ රොටි කෑ බව ඔබ කියවා නැද් ද? නොහොත් දේව මාලිගාවෙහි පූජකයන් සබත් දවසේ දී සබත් නීතිය කඩ කළත්, නිදොස් ව සිටින බව ව්‍යවස්ථාවලියෙහි කියවා නැද් ද? එහෙත්, මම ඔබට කියමි, දේව මාලිගාවට වඩා උතුම් කෙනෙක් මෙහි සිටිති. ‘මම යාග පූජාවට නොව, දයානුකම්පාවට කැමැත්තෙමි’ යන කීමේ තේරුම ඔබ දැන සිටියහු නම්, නිදොස් අය පිට වරද නොතබනු ඇත. මන්ද, මනුෂ්‍ය-පුත්‍රයාණෝ සබත් දිනට පවා අධිපතියාණෝ ය.” උන් වහන්සේ එතැනින් නික්ම ගොස් ඔවුන්ගේ ධර්මශාලාවට පැමිණි සේක. එහි අතක් පණ නැති මිනිසෙක් විය. සමහර අය උන් වහන්සේට වරද තබන පිණිස, “සබත් දිනයේ දී සුව කරන්න යුතු දැ”යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කළහ. උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඔබ අතරෙන් එක බැටළුවෙකු පමණක් හිමි මිනිසෙකු ඒ බැටළුවා සබත් දිනක දී වළක වැටුණොත්, ඌ ඔසවා ගොඩ ගන්නේ නැද් ද? ඉදින්, මිනිසෙකු බැටළුවෙකුට වඩා බොහෝ වටින්නේ නැද් ද? එබැවින් සබත් දිනයේ දී යහපත කරන්න යුතු ය”යි ඔවුන්ට වදාරා, “ඔබේ අත දිගු කරන්නැ”යි ඒ මිනිසාට වදාළ සේක. ඔහු අත දිගු කෙළේ ය. එවිට එය අනික් අත මෙන් ම සුව විය. එවිට පරිසිවරු නික්ම ගොස් උන් වහන්සේ නසන්නේ කෙසේ දැ යි කුමන්ත්‍රණය කළහ. ජේසුස් වහන්සේ එපවත් දැන එතැනින් නික්ම ගිය සේක. විශාල ජනකායක් උන් වහන්සේ පසුපස්සේ ගියහ. උන් වහන්සේ සියල්ලන් සුව කොට, තමන් වහන්සේ ගැන ප්‍රචාරය නොකරන ලෙස ඔවුන්ට අණ කළ සේක. එසේ වූයේ, යෙසායා දිවැසිවරයා පවසන ලද මේ කීම ඉටු වන පිණිස ය: “මෙන්න, මා තෝරාගත් මාගේ මෙහෙකරුවා, මා සිත්ගත් මාගේ පෙම්වතා, මාගේ ආත්මානුභාවය ඔහුට ප්‍රදානය කරමි; එකල ඔහු විජාතීන් හට යුක්තිය දන්වයි. ඔහු කලහ කරන්නේ නැත: මොරගසන්නේ නැත; ඔහුගේ කටහඬ ද වීදිවල කිසිවෙකුට ඇසෙන්නේ නැත. ඔහු යුක්තිය ජයට පමුණුවන තුරු තැළුණු බට දණ්ඩක් බිඳින්නේ නැත; දුම් නඟින පහන් තිරයක් නිවන්නේ නැත. විජාතීහු ඔහු කෙරෙහි බලාපොරොත්තු තබති.” එවිට දුෂ්ටාත්මාවේශ වූ, අන්ධ, ගොළු මිනිසෙක් උන් වහන්සේ වෙත ගෙනෙන ලද්දේ ය. උන් වහන්සේ ඔහු සුව කළ සේක. ඒ ගොළුවාට කතා ශක්තිය සහ ඇස් පෙනීම ලැබිණි. මුළු ජනකාය විස්මපත් වූ හ. ඔව්හු, “මෙතුමාණන් දාවිත්ගේ පුත්‍රයා විය හැකි දැ”යි ඇසූ හ.