ශුද්ධවර මතෙව් 10:24-42

ශුද්ධවර මතෙව් 10:24-42 NRSV

“ගෝලයෙක් සිය ගුරුවරයාට වඩා උසස් නොවේ. දාසයෙක් සිය ස්වාමියාට වඩා උසස් නොවේ. ගෝලයා සිය ගුරුවරයාට සමාන වීමෙන් ද, සේවකයා සිය ස්වාමියාට සමාන වීමෙන් ද සෑහීමට පත් විය යුතු ය. ඔව්හු ගෘහ මූලිකයාට ‘බෙල්සෙබුල්’ යයි කීවොත්, ගෙයි වැසියන්ට ඊටත් වැඩියෙන් අපහාස නොකරත් ද?” “එබැවින් මිනිසුන්ට බිය නොවන්න. මන්ද, දැන් සැඟ වී ඇති සෑම දේ ම හෙළි කරනු ලැබේ. සෑම රහසක් ම ප්‍රකට කරනු ලැබේ. මා විසින් ඔබට අඳුරේ දී පවසන ලද දෙය ඔබ දවාලේ දී කියන්න. ඔබේ කනට රහසින් ඇසෙන දෙය, ගෙමුදුන්වලින් ප්‍රකාශ කරන්න. ශරීරය නැසුවත්, ආත්මය නසන්න නුපුළුවන් අයට බිය නොවන්න. එහෙත්, ආත්මය ද ශරීරය ද නිරයෙහි විනාශ කරන්න පුළුවන් තැනැන් වහන්සේට ම බිය වන්න. ගේ කුරුල්ලන් දෙදෙනෙකු තුට්ටුවකට විකුණනවා නොවේ ද? එහෙත්, එයින් එකෙක් වත් ඔබේ පියාණන් වහන්සේ නොදැනුවත් ව බිමට නොවැටෙන්නේ ය. ඔබේ හිසකේ සියල්ල පවා ගණන් කොට ඇත. එබැවින් බිය නොවන්න; ගේ කුරුල්ලන් රාශියකට වඩා ඔබ අගනේ ය. යමෙක් මනුෂ්‍යයන් අබිමුවෙහි මා පිළිගත් බවට සාක්ෂි දරන්නේ ද, මමත් ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේ අබිමුවෙහි ඔහු පිළිගත් බවට සාක්ෂි දරන්නෙමි. එහෙත්, යමෙක් මනුෂ්‍යයන් අබිමුවෙහි මා ප්‍රතික්ෂේප කරන්නේ ද, මමත් ස්වර්ගයේ වැඩ සිටින මාගේ පියාණන් වහන්සේ අබිමුවෙහි ඔහු ප්‍රතික්ෂේප කරන්නෙමි.” “මම මිහි පිට සාමය දෙන පිණිස ආවෙමි යි නොසිතන්න; සාමය නොව කඩුවක් දෙන පිණිස ආවෙමි. මන්ද, තම පුතා පියා සමඟ ද, දුව සිය මවු සමඟ ද, ලේලී සිය නැන්දම්මා සමඟ ද, භේද කරවන පිණිස ආවෙමි. මිනිසෙකුගේ සතුරෝ නම් ඔහුගේ ම ගෙදර වැසියෝ ය. මට වඩා පියාට වත්, මවුට වත් ප්‍රේම කරන්නා මට සුදුසු නො වේ. මට වඩා පුතාට වත්, දුවට වත් ප්‍රේම කරන්නා මට සුදුසු නො වේ. සිය කුරුසිය දරා ගෙන මා අනුගමනය නොකරන තැනැත්තා මට සුදුසු නො වේ. සිය දිවි රැකගන්නා එය නැති කරගනී. මා නිසා සිය දිවි නැති කරගන්නා එය රැකගනී.” “ඔබ පිළිගන්නා මා පිළිගන්නේ ය; මා පිළිගන්නා මා එවූ තැනැන් වහන්සේ පිළිගන්නේ ය. දිවැසිවරයෙකු වන නිසා දිවැසිවරයෙකු පිළිගන්නා දිවැසිවරයෙකුගේ විපාකය ලබයි; සත් පුරුෂයෙකු වන නිසා සත් පුරුෂයෙකු පිළිගන්නා සත් පුරුෂයෙකුගේ විපාකය ලබයි. මේ මාගේ ශ්‍රාවකයන්ගෙන් ඉතා සුළු කෙනෙකුට වුව ද ඔහු ශ්‍රාවකයෙකු වන නිසා බොන්න ඇල් වතුර කෝප්පයක් වත් යමෙක් දෙන්නේ ද, සැබැවින් ම මම ඔබට කියමි, ඔහුගේ විපාකය කිසිසේත් නැති නොවන්නේ ය.”