මලාකි 3:6-12

මලාකි 3:6-12 NRSV

සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම සමිඳාණන් වහන්සේ ය; මාගේ වෙනස් වීමක් නැත. ජාකොබ්ගේ පරම්පරාවෙන් පැවත එන නුඹලා තවමත් සම්පූර්ණයෙන් විනාශ වී නැත්තේ ඒ නිසා ය. පෙර සිටි නුඹලාගේ මුතුන්මිත්තන් සේ නුඹලා ද මාගේ ආඥාවලට පිටුපා ඒවා කඩ කළහු ය. එහෙත්, මා වෙත හැරී එන්න; එවිට මමත් නුඹලා වෙත හැරී එන්නෙමි. ‘අපි කෙසේ හැරී එන්නෙමු දැ’යි නුඹලා අසන්නහු ය. දෙවියන් වහන්සේ රැවටීමට මිනිසෙකුට පුළුවන් ද? මම නුඹලාගෙන් අසමි. එසේ කිරීම යුතු නැති වුවත් නුඹලා මා රවටන්නහු ය. නුඹලා මා රවටන්නේ දසයෙන් කොටස හා පූජාවන් පිදීමෙහි දී ය. මුළු ජාතිය ම මා රවටන බැවින් නුඹලා සියල්ලන් පිට සාපයක් පැමිණ ඇත. මාගේ මාලිගාවේ භෝජන තිබෙන පිණිස නුඹලා සම්පූර්ණ දසයෙන් කොටස ගබඩාවට ගෙනෙන්න. එසේ කළ විට ස්වර්ගයේ කවුළු හැර බහුල ලෙස මම නුඹලාට ආශීර්වාද නොදෙන්නෙම් දැ යි සෝදිසි කර බලන්න. ගොයම් මැස්සන්ගෙන් නුඹලාගේ ගොයම් විනාශ වන්න මම ඉඩ නොදෙමි. නුඹලාගේ මිදි වැලේ පලදාවත් සාරවන්නේ ය”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක. එවිට නුඹලාගේ දේශය යහපත් දේශයක් වන බැවින් සියලු ජාතීන් නුඹලා වාසනාවන්තය යි කියනු ඇත.