පාස්කුව නම් වූ නුමුහුන් රොටි මංගල්‍යය ළං විය. නායක පූජකයෝ ද විනයධරයෝ ද උන් වහන්සේ නැසීමට උපා සෙවූ හ; එසේ කෙළේ ඔවුන් ජනතාවට භයින් සිටි බැවිනි.
ඒ අතර දොළොස් දෙනාගෙන් කෙනෙක් වූ ඉස්කාරියොත් නම් ජූදස්ගේ සිතට සාතන් ඇතුළු විය. ඔහු ගොස් උන් වහන්සේ පාවා දෙන්නේ කෙසේ ද කියා නායක පූජකයන් හා දේව මාලිගාවේ මුර සෙබළුන් සමඟ කතා කර ගත්තේ ය. ඔව්හු ඉතා සතුටු ව ඔහුට මුදල් දීමට පොරොන්දු වූ හ. ඔහු ඊට එකඟ වී, සෙනඟ නැති වේලාවක උන් වහන්සේ ඔවුන් අතට පාවා දෙනු පිණිස සුදුසු අවස්ථාවක් සෙවී ය.
පාස්කු බැටළුවා පූජා කළ යුතු නුමුහුන් රොටි මංගල්‍යය පවත්වන දවස පැමිණියේ ය. එවිට උන් වහන්සේ පේදුරු ද ජොහන් ද යවමින්, “ඔබ ගොස් අප විසින් පාස්කු භෝජනය වළඳන පිණිස පිළියෙළ කරන්නැ”යි වදාළ සේක. “කොතැන පිළියෙළ කරනවාට ඔබ වහන්සේ කැමැති සේක් දැ”යි ඔව්හු ඇසූ හ. උන් වහන්සේ, “ඔබ නුවරට ඇතුළු වූ විට, වතුර කළයක් ගෙන යන මිනිසෙක් ඔබට හමු වන්නේ ය; ඔහු පස්සේ ගොස් ඔහු යන ගෙදරට ඇතුළු වී, ගෘහ මූලිකයාට කතා කොට, ‘මා විසින් මාගේ ශ්‍රාවකයන් සමඟ පාස්කු භෝජනය වැළඳීම සඳහා වෙන් කර ඇති කාමරය කොයි ද කියා ගුරුදේවයාණෝ අසන සේකැ’යි කියන්න. සූදානම් ව ඇති ලොකු උඩුමහල් කාමරයක් ඔහු ඔබට පෙන්වනු ඇත. එහි පිළියෙළ කරන්නැ”යි වදාළ සේක. ඔව්හු ගොස්, උන් වහන්සේ වදාළ ලෙස ම සියල්ල සම්බවූයෙන්, පාස්කු භෝජනය පිළියෙළ කළහ.
නියම වේලාව පැමිණි කල, උන් වහන්සේ කෑමට හිඳගත් සේක. ප්‍රේරිතයෝ ද උන් වහන්සේ සමඟ හිඳගත්හ. උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “මා වද විඳීමට පළමුවෙන්, මේ පාස්කු භෝජනය ඔබ සමඟ වළඳන්නට අතිශයින් ආශා වීමි. ඒ මන්දැ යි මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ දී එය මුදුන්පත් වනතුරු මම එය තවත් නොවළඳමි”යි වදාළ සේක. උන් වහන්සේ කුසලානක් ගනිමින්, තුති පුදා, “මෙය ගෙන ඔබ අතරෙහි බෙදාගන්න. මන්ද, මම ඔබට කියමි, මෙතැන් පටන්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය පැමිණෙන තුරු, මම මිදියුස පානය නො කරන්නෙමි”යි වදාළ සේක. උන් වහන්සේ රොටි ගෙන තුති පුදා, ඒවා කඩා, ඔවුන්ට දී, “ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරය මේ ය; මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ”යි වදාළ සේක. එලෙස ම භෝජනයෙන් පසු කුසලාන දී, “මේ කුසලාන ඔබ උදෙසා වගුරුවනු ලබන මාගේ රුධිරයෙන් කළ නව ගිවිසුම ය. එහෙත්, දැන් මා පාවා දෙන්නාගේ අත මා ළඟින් ම මේසය මත තිබේ. මන්ද, මනුෂ්‍ය-පුත්‍රයාණෝ නියමිත ගමන යන සේක් ම ය. එහෙත්, ඔහු පාවා දෙන ඒ මනුෂ්‍යයාට වන විපතක මහතැ”යි උන් වහන්සේ වදාළ සේක. එවිට එය කරන්නට යන්නේ ඔවුන්ගෙන් කවරෙක් දැ යි ඔව්හු තම තමන් අතර විමසන්නට පටන්ගත්හ.
තමන් අතරෙන් ශ්‍රේෂ්ඨතම ලෙස සැලකිය යුත්තේ කවරෙක් දැ යි ශ්‍රාවකයන් අතර විවාදයක් ඇති විය. උන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක: “විජාතීන්ගේ රජවරු වැසියන් කෙරෙහි අධිපති බලය පාන්නාහ; ඔවුන් කෙරෙහි බලය පවත්වන්නෝ ජාති හිතෛෂීහු යයි කියනු ලබති. එහෙත් ඔබ අතර එය එසේ නොවේ. ඔබ අතර ශ්‍රේෂ්ඨ තැනැත්තා ඉතා සුළු තැනැත්තා මෙන් ද නායකයා සේවකයා මෙන් ද වේ වා; වඩා උතුම් කවරේ ද, කෑමට හිඳින තැනැත්තා ද, නැතහොත් සේවකයා ද? කෑමට හිඳින තැනැත්තේ නොවේ ද? එහෙත්, මම නම්, ඔබ මැද සේවකයා මෙන් වෙමි. මාගේ පරීක්ෂාවල දී මා සමඟ සිටි අය ඔබ ම ය. එබැවින් මාගේ පියාණන් වහන්සේ මට රාජ්‍යය පවරා දුන් සේ ම, මාගේ රාජ්‍යයෙහි මාගේ මේසයේ දී කන බොන පිණිස ද සිහසුන් අරා ඉශ්රායෙල් ගෝත්‍ර දොළොස කෙරෙහි විනිශ්චය කරන පිණිස ද වරය මමත් ඔබට පවරා දෙමි.”