මෝසෙස්ගේ ව්‍යවස්ථාව අනුව ඔවුන්ගේ පවිත්‍ර වීමේ කාලය පැමිණියෙන්, ඔව්හු උන් වහන්සේ සමිඳාණන් වහන්සේට කැප කරනු වස්, ජෙරුසලමට ගෙනාහ. එසේ කෙළේ, “හැම කුලුඳුල් පිරිමි දරුවෙක් ම සමිඳාණන් වහන්සේට කැප ය”යි සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාවලියෙහි ලියා ඇති ලෙස, දරුවා සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිසත්, එහි ම කියා ඇති පරිදි කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ පූජා කරන පිණිසත් ය.
එකල, සිමියොන් නම් මිනිසෙක් ජෙරුසලමෙහි විසී ය. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ විමුක්තිය අපේක්ෂාවෙන් සිටි දැහැමි බැතිමතෙකි. ශුද්ධාත්මයාණෝ ඔහු කෙරෙහි වැඩහුන්හ. සමිඳාණන් වහන්සේ අභිෂේක කළ ‘ක්‍රිස්තුන් වහන්සේ දක්නට පළමුවෙන් ඔහු මරණය නොදක්නේ ය’යි ශුද්ධාත්මයාණන් විසින් ඔහුට අනාවරණය කරනු ලැබ තිබිණි. ඔහු ශුද්ධාත්මානුභාවයෙන් දේව මාලිගාවට පැමිණියේ ය. ළදරු ජේසුස් වහන්සේ පිළිබඳ ව ව්‍යවස්ථාවෙහි සඳහන් වත්පිළිවෙත් ඉටු කරනු වස්, දෙමවුපියන් උන් වහන්සේ ගෙනා විට, ඔහු උන් වහන්සේ දෝතින් වඩාගෙන මෙසේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය:
“සමිඳුනි, ඔබ පොරොන්දු වූ ලෙස ම දැන් ඔබ දාසයා හට, ශාන්ති සිතින් යාමට ඔබ නිදහස දී ඇත,
මන්ද, ගැළවීම මාගේ දෙනෙතින් දිටිමි.
එය සකල ජාතීන් අබිමුව කළ ගැළවීම ද
විජාතීන්ට එළිය දෙන ආලෝකය ද ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ මහිමය ද වේ.”
උන් වහන්සේ පිළිබඳ ව කී දේ ගැන උන් වහන්සේගේ පියා ද මවු ද මවිත වූ හ. සිමියොන් ඔවුන්ට ආශීර්වාද කරමින් උන් වහන්සේගේ මව වූ මරිය තුමීට කතා කොට, “මේ දරුවා ඉශ්රායෙල්හි බොහෝ දෙනෙකුගේ වැටීම හා නැඟීම පිණිසත්, ප්‍රතික්ෂේපයට ලක් වන දේව සලකුණක් වන පිණිසත්, නියම ව සිටී. එසේ ය, ඔබේ ම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාළ වනු ඇත. මෙසේ වන්නේ, බොහෝ දෙනෙකුගේ සිත්හි රහස් කල්පනා එළිදරව් වන පිණිස ය”යි කී ය.
තවද, ආෂෙර්ගේ පෙළපතින් ආ පානුවෙල්ගේ දුවක වන බොහෝ වයස්ගත අන්නා නම් දිවැසිවරියක් වූවා ය. විවාහයෙන් පසු සත් වසක් සැමියා සමඟ විසූ ඈ අසූ හතර අවුරුද්දක් වයස් වන තුරු වැන්දඹුවක් ව සිටියා ය. ඈ දේව මාලිගාවෙන් අහක් ව නො ගොස් දිවා රෑ දෙක්හි උපවාස හා යාච්ඤා පවත්වමින් නමස්කාර කළා ය. ඈ ද ඒ මොහොතේ දී ම අවුත්, දෙවියන් වහන්සේට තුති පුදා, ජෙරුසලමේ විමුක්තිය අපේක්ෂා කළ සියලු දෙනා හට උන් වහන්සේ ගැන කතා කළා ය.
ජෝසෙප් සහ මරියා සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාවලිය අනුව සියල්ල ඉටු කළ පසු ගලීලයෙහි නාසරෙත් නම් සිය නුවරට පෙරළා ගියහ. දරුවා වැඩී ශක්තිමත් ව ප්‍රඥාවෙන් පූර්ණ විය; දෙවියන් වහන්සේගේ ප්‍රසාදය උන් වහන්සේ කෙරෙහි විය.
ජේසුස් වහන්සේගේ මවුපියෝ අවුරුදු පතා පාස්කු උළෙල සඳහා ජෙරුසලමට ගියහ. උන් වහන්සේ දොළොසැවිරිදි වූ කල, ඔව්හු සිරිත් ලෙස ඒ මංගල්‍යයට ගියහ. ඔවුන් නියමිත දවස් ගෙවා පෙරළා එන අතර, ජේසුස් කුමරාණෝ ජෙරුසලමෙහි රැඳුණු සේක; එහෙත්, උන් වහන්සේගේ දෙමවුපියෝ ඒ බව නොදැන, උන් වහන්සේ වන්දනාකාර පිරිස සමඟ ඇතැ යි සිතාගෙන, දවසක ගමන් ගොස්, නෑ මිතුරන් අතරෙහි උන් වහන්සේ සෙවූ හ. එහෙත් සම්බ නොවූයෙන්, ඔව්හු උන් වහන්සේ සොයමින් ජෙරුසලමට පෙරළා ගියහ.
තෙදිනකට පසු ඔව්හු උන් වහන්සේ දේව මාලිගාවෙහි පඬිවරයන් මැද වැඩහිඳ ඔවුන් කී දේ අසමින් ද ඔවුන්ගෙන් ප්‍රශ්න විචාරමින් ද සිටිනු දුටුවෝ ය. ඒ ඇසූ සියල්ලෝ ම උන් වහන්සේගේ බුද්ධි මහිමය හා පිළිතුරු ගැන විස්මිත වූ හ. දෙමවුපියෝ උන් වහන්සේ දුටු කල මවිත වූ හ. උන් වහන්සේගේ මෑණියෝ, “පුතා, කුමක් නිසා අපට මෙසේ කෙළෙහි ද? බලන්න, ඔබේ පියා ද මම ද දුකින් තැවි තැවී ඔබ සෙවීමු”යි කී හ. එවිට උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ මා සෙව්වේ මන් ද? මා පියාණන්ගේ මැදුරෙහි මා සිටිය යුතු බව ඔබ නොදන්නහු දැ”යි ඔවුන්ට වදාළ සේක. එහෙත්, උන් වහන්සේගේ ඒ කීම ඔවුන්ට අවබෝධ නො වී ය.
උන් වහන්සේ ඔවුන් කැටුව ගොස් නාසරෙත් නුවරට පැමිණ ඔවුන්ට කීකරු වී විසූ සේක. උන් වහන්සේගේ මෑණියෝ මේ සියල්ලක් ම සිත්හි නිදන් කරගත්හ. ජේසුස් වහන්සේ ප්‍රඥා මහිමයෙන් හා කාය ශක්තියෙන් ද දෙවියන් වහන්සේගෙන් හා මිනිසුන්ගෙන් ප්‍රසාදය ලබමින් ද වැඩුණු සේක.