ශුද්ධවර ලූක් 18:2-14
ශුද්ධවර ලූක් 18:2-14 NRSV
“එක් නුවරක දෙවියන්ට බිය නැති, මිනිසුන්ට ගරු නොකරන විනිශ්චයකාරයෙක් වී ය. එම නුවර වැන්දඹුවක් ද වූවා ය; ඈ නොයෙක් වර ඔහු වෙත ගොස්, ‘මාගේ විරුද්ධකාරයා මට කළ අයුක්තියට, යුක්තිය ඉෂ්ට කළ මැනවැ’යි කීවා ය. ඔහු කලක් ඒ ඉල්ලීම නොසලකා හැරියේ ය. පසුව ඔහු තමාට ම මෙසේ කියාගත්තේ ය, ‘මා දෙවියන් වහන්සේට ගරුබිය නොපෑවත්, මනුෂ්‍යයන්ට ගරු සරු නොකළත්, මේ වැන්දඹුවගේ, කරදරය නිසා ඈ නිතර පැමිණ මා නොවෙහෙසන පිණිස, ඈට යුක්තිය ඉටු කර දෙමි’යි කීයේ ය.” තවද, සමිඳාණන් වහන්සේ කතා කොට, “මේ අධාර්මික විනිශ්චයකාරයා කියන දේ අසන්න. දෙවියන් වහන්සේත්, දිවා රෑ දෙක්හි තමන් හට අයැදින, තමන් තෝරාගත් අය ගැන යුක්තිය ඉටු නොකරන සේක් ද? උන් වහන්සේ ඔවුන් ගැන බොහෝ නොඉවසන සේක් ද? උන් වහන්සේ ඔවුන්ට වහා ම යුක්තිය ඉටු කරන සේකැ යි, මම ඔබට කියමි. එසේ වුව ද, මනුෂ්‍ය-පුත්‍රයාණන් වඩිනා කල මිහි පිට ඇදහිල්ල ඇති අය උන් වහන්සේට සම්බ වනු ඇද්දැ”යි ඇසූ සේක. තමා සිල්වත් යයි සිතමින්, අන් හැම දෙන හෙළා දුටු ඇතැම් අයට උන් වහන්සේ මේ උපමාව ද වදාළ සේක. “මිනිසුන් දෙදෙනෙක් යාච්ඤාව පිණිස දේව මාලිගාවට නැඟී ගියහ; එක් කෙනෙක් පරිසිවරයෙකි; අනික් තැනැත්තා අයකැමියෙකි. පරිසිවරයා නැඟී සිට පසෙකට වී තනියම යාච්ඤා කරමින්, ‘දෙවියන් වහන්ස, මා අන් මිනිසුන් මෙන් වස්තු ලෝභී, වංචනික, කාමමිථ්‍යාචාරී තැනැත්තකු නොවන බැවින් ඔබට තුති පුදමි. මම මේ අයකැමියා වැන්නෙක් ද නොවෙමි. සතියකට දෙවරක් උපවාස කරමි; මා උපයන සියල්ලෙන් දහයෙන් කොටස දෙමි’යි කී ය. එහෙත් අයකැමියා ඈතින් සිට ස්වර්ගය දෙස ඇස් ඔසවා බලන්නට වත් නොසිතා, තමාගේ ළයට ගසාගනිමින්, ‘දෙවියන් වහන්ස, පව්කාර වූ මා හට කරුණා කළ මැනවැ’යි කී ය. මෙය මම ඔබට කියමි; දමිටු යයි ගණන් ගනු ලැබ ගෙදර ගියේ පරිසිවරයා නොව, මේ අයකැමියා ය. තමා ම උසස් කරගන්නා හැම දෙන ම පහත් කරනු ලබති; තමා ම පහත් කරගන්නා උසස් කරනු ලබන්නේ ය.”

