ශුද්ධවර ලූක් 10:1-16

ශුද්ධවර ලූක් 10:1-16 NRSV

ඉන්පසු සමිඳාණන් වහන්සේ තවත් සැත්තෑ දෙනෙකු පත් කොට තමන් යන්න අදහස් කළ සියලු නගර හා පෙදෙස්වලට ඔවුන් දෙදෙනා බැගින් තමන්ට කලින් යැවූ සේක. උන් වහන්සේ ඔවුන්ට මෙ‍සේ වදාළ සේක: “ගොයම නම් බහුල ය. ගොවීහු විරල ය. එබැවින් ගොයම් කැපීමට මෙ‍හෙකරුවන් එවන මෙ‍න් ගොයමේ හිමියාණන්ට යාච්ඤා කරන්න. ඉතින් යන්න. වගවලසුන් මැදට බැටළු පැටවුන් යවන්නාක් මෙ‍න් මම ඔබ යවමි. පසුම්බියක් හෝ මල්ලක් හෝ පා වහන් හෝ නොගෙන යන්න. මඟ දී ආචාර කිරීම් සඳහා පමා නොවන්න. ඔබ යම් ගෙදරකට ඇතුළු වූ කල, පළමුකොට ‘මේ ගෙදරට සාමය වේ වා!’යි පතන්න. සාමය ලබන්නට සුදුසු කෙනෙක් එහි සිටිත් නම් ඔබගේ සාම පැතුම ඔහු පිට රැඳෙනු ඇත. නැතහොත් එය ඔබ වෙත පෙරළා එනු ඇත. ඔවුන් දෙන දෙය කමින් බොමින් ඒ ගෙදර ම නැවතී සිටින්න. මන්ද, මෙ‍හෙකරුවා සිය වේතනය ලැබිය යුතු ය; ගෙදරින් ගෙදරට නොයන්න. ඔබ යම් නුවරකට ඇතුළු වූ කල ඔවුන් ඔබ පිළිගත්තොත්, ඔබ ඉදිරියෙහි තබන දේ වළඳන්න. එහි සිටින රෝගීන් සුව කරන්න. ‘දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ වෙත පැමිණියේ ය’යි ඔවුන්ට ප්‍රකාශ කරන්න. එහෙත් යම් නුවරකට ඇතුළු වූ කල ඔවුන් ඔබ නොපිළිගත්තොත්, ඒ නුවර වීදිවලට ගොස්, ‘අපේ පාදවල වැකුණු මේ නුවර දූවිලි පවා ඔබට විරුද්ධ ව අපි ගසා දමමු; ඒ කෙසේ වුවත් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ළං ව ඇති බව දැනගන්නැ’යි කියන්න. මෙ‍ය මම ඔබට කියමි, ඒ දවසේ දී ඒ නුවරට වඩා සොදොමට සහනය ඇති වන්නේ ය.” “එම්බා කොරාශීනය, ඔබට වන විපතක මහත! එම්බා බෙත්සයිදාව, ඔබට වන විපතක මහත! ඔබ තුළ කළ ප්‍රබල ක්‍රියා තීර්හි හා සීදොන්හි කළා නම්, මීට කලින් ගෝනි රෙදි හැඳ අළු තවරා ගෙන පසුතැවී සිත් හරවා ගැනීමට ඔවුන්ට ඉඩ තිබිණි. එසේ වුව ද දේව විනිශ්චය දවසේ දී ඔබට වඩා තීර්ට හා සීදොනට සහනය ලැබෙන්නේ ය. එම්බා කපර්ණවුම, ඔබ සගලොව දක්වා උසස් කරනු ලබන්නෙහි ද? නැත, පාතාලය දක්වා පහත හෙළනු ලබන්නෙහි ය. ඔබගේ වචන අසන්නා මාගේ වචන අසයි; ඔබ ප්‍රතික්ෂේප කරන්නා මා ප්‍රතික්ෂේප කරයි; මා ප්‍රතික්ෂේප කරන්නා මා එවූ තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ ය.”