ලෙවී ව්‍යවස්ථාව 2

2
ධාන්‍ය පූජාව
1“යමෙක් සමිඳාණන් වහන්සේට ධාන්‍ය පූජාවක් ඔප්පු කරන්නේ නම්, ඔහුගේ පූජාව සිහින් පිටිවලින් විය යුතු ය. තවද, එහි තෙල් වත් කොට එය මත තුවරලා ද දැමිය යුතු ය. 2පසුව පූජකයන් වන ආරොන්ගේ පුතුන් වෙත ඔහු එය ගෙනා යුතු ය. පූජකවරයා පිටිවලින් හා තෙලින් අතලොස්සක් ද එහි ඇති තුවරලා සියල්ල ද ගෙන පූජාසනය මත එය සිහිවීමේ කොටස වශයෙන් දැවිය යුතු ය. ගින්නෙන් දවා පුදන ලද මේ පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි. 3ධාන්‍ය පූජාවේ ඉතිරි කොටස ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට අයිති වේ. එය සමිඳාණන් වහන්සේට පිදූ දවන පූජාවලින් අතිශුද්ධ කොටස වනු ඇත.
4“නුඹ ඇනූ පිටි, උදුනේ පුළුස්සා ධාන්‍ය පූජාවක් වශයෙන් ගෙනෙන්නෙහි නම්, එය සිහින් පිටි කලවම් කළ, තෙල් මිශ්‍ර නුමුහුන් රොටි හෝ තෙල් ගෑ නුමුහුන් තුනී රොටි හෝ විය යුතු ය.
5“නුඹේ ධාන්‍ය පූජාව කබලක බදින ලද ඇනූ පිටි නම්, එය නුමුහුන්, තෙල් මිශ්‍ර, සිහින් පිටිවලින් සෑදූ රොටියක් විය යුතු ය. 6එය කෑලි කොට කඩා එය මත තෙල් වත් කළ යුතු ය. එය ධාන්‍ය පූජාවක් වනු ඇත.
7“නුඹේ පූජාව තාච්චියක පිළියෙළ කළ ධාන්‍ය පූජාවක් නම් එය තෙල් මිශ්‍ර, සිහින් පිටිවලින් සෑදිය යුතු ය. 8නුඹ මේවායින් සූදානම් කළ ධාන්‍ය පූජාව සමිඳාණන් වහන්සේ වෙත ගෙනවුත්, එය පූජකවරයාට පිළිගැන්වූ විට ඔහු එය පූජාසනයට ගෙනා යුතු ය. 9පූජකවරයා ද එම ධාන්‍ය පූජාවෙන් සිහිවීමේ කොටස ගෙන එය පූජාසනය මත දැවිය යුතු ය. ගින්නෙන් දවා පිදූ එම පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින ඉමිහිරි සුවඳකි. 10ධාන්‍ය පූජාවෙන් ඉතිරි කොටස ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට අයිති ය. එය සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පිදූ පූජාවලින් අතිශුද්ධ කොටස වේ.
11“සමිඳාණන් වහන්සේ වෙත ගෙනෙන කිසි ම ධාන්‍ය පූජාවක් මුහුන් දමා නොසෑදිය යුතු ය. නුඹ සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන කිසි ම පූජාවක මුහුන් හෝ මී පැණි හෝ නොදැමිය යුතු ය. 12මේවා නාඹුල් පල පූජාවක් ලෙස සමිඳාණන් වහන්සේට පුද කළ හැකි වුව ද, එය සුමිහිරි සුවඳක් මෙන් නැඟීමට පූජාසනය මත නොදැවිය යුතු ය. 13නුඹ ධාන්‍ය පූජාව වශයෙන් පුදන සෑම පූජාවක් ම ලුණු දමා රසවත් කළ යුතු වේ. එසේ කළ යුත්තේ, ලුණු, නුඹ ද සමිඳාණන් වහන්සේ ද අතර ගිවිසුමේ ලකුණක් වනු පිණිස ය. නුඹේ සෑම ධාන්‍ය පූජාවක් සමඟ ම ලුණු ද පුද කළ යුතු ය. 14නුඹ නාඹුල් පලවලින් ධාන්‍ය පූජාව පුදන්නෙහි නම්, එම පූජාව වශයෙන්, නුඹ ගින්නෙන් බදින ලද අමු තිරිඟු කරල් හෝ එවැනි කරල්වලින් පොඩි කරන ලද ධාන්‍ය හෝ ගත යුතු ය. 15එය මත තෙල් වත් කොට තුවරලා දැමිය යුතු ය. එවිට එය ධාන්‍ය පූජාවක් වනු ඇත. 16පොඩි කළ ධාන්‍යවලින් කොටසක් ද තෙලින් කොටසක් ද එහි තුවරලා සියල්ල සමඟ සිහිවීමේ කොටස වශයෙන් පූජකවරයා විසින් දවනු ලැබිය යුතු ය. එය ද ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පිදූ පූජාවකි.”

දැනට තෝරාගෙන ඇත:

ලෙවී ව්‍යවස්ථාව 2: NRSV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න