විලාප ගී 3:46-66

විලාප ගී 3:46-66 NRSV

අපේ සියලු සතුරෝ අපට විරුද්ධ ව බොහෝ සේ දොස් කී හ. භීතිය සහ පාතාලයත්, නාස්තිය සහ විනාශයත් අපට පැමිණ තිබේ. මාගේ සෙනඟගේ විනාශය නිසා මාගේ ඇස්වලින් කඳුළු ගංගා ගලා යයි. සමිඳාණන් ස්වර්ගයේ සිට බලා සලකන තුරු, මාගේ ඇස්වලින් නොනැවතී කඳුළු වැගිරෙයි. නගරයේ කාන්තාවන්ට සිදු වී ඇති දේ මා දකින විට මාගේ සිත කම්පා වෙයි. නිකරුණේ මට සතුරු ව සිටින අය කුරුල්ලෙකු මෙන් මා උගුලට අසු කරගත්හ. ඔව්හු පණපිටින් මා වළට හෙළාදමා මා පිට ගල් ද පැටවූ හ. වතුර මාගේ හිසට උඩින් ගලා ගියේ ය; “මාගේ අවසානය පැමිණ ඇතැ”යි මම කීමි. සමිඳුනි, මම ගැඹුරු පාතාලයේ සිට ඔබේ නාමය කියා යැදිමි. මාගේ මොරගැසීමට සවන් දෙන ලෙස මා බැගෑපත් ව ඉල්ලා සිටි විට ඔබ මට සවන් දුන් සේක. මා ඔබට යාච්ඤා කළ විට, ඔබ මට ළං වී, “බිය නොවන්නැ”යි මට වදාළ සේක. සමිඳුනි, ඔබ මා වෙනුවෙන් කරුණු වදාළ සේක. මාගේ ප්‍රාණය මිදූ සේක. සමිඳුනි, ඔබ මාගේ පීඩාව දුටු සේක; මට යුක්තිය ඉටු කර දුන මැනව. ඔවුන්ගේ සියලු ම පළිගැනීම් සහ මට විරුද්ධ ව තිබෙන ඔවුන්ගේ සියලු උපා ඔබ දුටු සේක. සමිඳුනි, ඔවුන්ගේ නින්දා කිරීම සහ මට විරුද්ධ ව තිබෙන ඔවුන්ගේ සියලු උපා ඔබ ඇසූ සේක. මට විරුද්ධ ව නඟන වචන ද දවස මුළුල්ලේ මට විරුද්ධ ව යොදන ඔවුන්ගේ උපායයන් ද ඔබ ඇසූ සේක. ඔවුන් වාඩි වී සිටියත්, සිටගෙන සිටියත් ඔවුන්ගේ උපහාසයට මම ලක් වී සිටිමි. සමිඳුනි, ඔවුන්ගේ ක්‍රියා අනුව ඔබ ඔවුන්ට විපාක දුන මැනව. සිත් දැඩිකම වන සාපය ඔබ ඔවුන්ට දුන මැනව. ඔබ, උදහසින් ඔවුන් ලුහුබැඳ ගොස්, මිහි පිටින් ඔවුන් අතුගාදැමුව මැනව.”

විලාප ගී 3:46-66 සඳහා වීඩියෝව

විලාප ගී 3:46-66 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය