ජෝෂු 7:1-9

ජෝෂු 7:1-9 NRSV

විනාශයට වෙන් කළ දෙයින් කිසිවක් නොගන්න ලෙස සමිඳාණන් වහන්සේ දුන් ආඥාව ඉශ්රායෙල් සෙනඟ කඩ කළෝ ය. මන්ද, ආකාන් කැප වූ දෙයින් කොටසක් ගත්තේ ය. ඔහු වනාහි ජුදා ගෝත්‍රයට අයිති සෙරාගේ පුත් ශබ්දිගේ පුත්‍රයා වන කර්මීගේ පුත්‍රයා ය. ඒ නිසා සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ඇවිළුණේ ය. ජෝෂුවා ජෙරිකෝවේ සිට බෙතෙල්ට නැගෙනහිරින් බෙතාවන්ට ආසන්න වූ ආයි නගරයට මිනිසුන් යවමින්, “ඔබ පිටත් ව ගොස් දේශය සෝදිසි කරගෙන එන්නැ”යි ඔවුන්ට කීවේ ය. ඒ මිනිස්සු පිටත් ව ගොස් ආයි නගරය ගැන ඔත්තු බැලුවෝ ය. ඉන්පසු ඔව්හු ජෝෂුවා වෙත පෙරළා පැමිණ ඔහුට කතා කොට, “සෙනඟ සියලු දෙනා නොයත්වා, දෙතුන් දහසක් පමණ සෙනඟ ගොස් ආයි නගරයට පහර දෙත්වා. ඒ නගරයේ සිටින්නේ ස්වල්ප දෙනෙකු නිසා, සකල ජනයා එහි යැවීමෙන් ඔවුන් වෙහෙසට පත් කරන්නට වුවමනාවක් නැතැ”යි කී හ. එකී ලෙස සෙනඟගෙන් තුන්දහසක් පමණ එහි ගියෝ ය. එහෙත්, ඔව්හු ආයි නුවර මිනිසුන්ට බියෙන් පලා ගියෝ ය. ආයි නුවර වැසියෝ ඔවුන්ගෙන් තිස්දෙනෙකු පමණ මැරුවෝ ය. ඔව්හු නුවර දොරටුවේ සිට ෂෙබාරීම් දක්වා ඔවුන් ලුහුබඳවා ගොස් කඳු බෑවුමේ දී ඔවුන්ට පහර දුන්නෝ ය. එවිට ඉශ්රායෙල්වරු අධෛර්යයට පත් වී භීතියෙන් ඇලළී ගියෝ ය. ජෝෂුවා ශෝකයෙන් තමාගේ වස්ත්‍ර ඉරාගෙන ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් සමඟ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සවස් වන තෙක් මුණින්තළා වැටී සිටියේ ය. ඔව්හු තමන්ගේ හිස් පිට ධූලි දමාගත්තෝ ය. ජෝෂුවා කතා කොට, “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, අප විනාශ කරන පිණිස අමෝරිවරුන් අතට අප පාවා දීමට ඔබ මේ සෙනඟ ජොර්දානෙන් මෙගොඩට පැමිණෙව්වේ කුමක් නිසා ද? අනේ! අපි ජොර්දාන් ගඟින් එගොඩ වාසය කරන්නට සතුටු වුණෙමු නම් කොපමණ හොඳ ද? අහෝ සමිඳාණන් වහන්ස! ඉශ්රායෙල්වරුන් සිය සතුරන්ට පිටුපා පලා ගිය පසු මම කුමක් කියම් ද? කානානිවරුන් ද දේශයේ සියලු වැසියන් ද ඒ අසා අප වටලා අපේ නාමය පොළොවෙන් මකාදමනු ඇත. එවිට ඔබේ ගරු නාමය රැකීමට ඔබ කුමක් කරන සේක් දැ”යි ඇසී ය.

ජෝෂු 7 කියවන්න

මෙයට අදාළ වීඩියෝ

ජෝෂු 7:1-9 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය