ජෝෂු 22:1-9

ජෝෂු 22:1-9 NRSV

ජෝෂුවා රූබන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රය ද කැඳවා ඔවුන්ට මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේගේ සේවක වූ මෝසෙස් ඔබ හැමට අණ කළ සියල්ල ඔබ පිළිපැද්දහු ය; මා ඔබට අණ කළ සියල්ලට ඔබ කීකරු වූවහු ය. ඔබ අද දවස දක්වා මෙපමණ දීර්ඝ කාලයක් තුළ ඔබේ සහෝදරයන් අත්නෑර සිට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥාවේ බාරය රක්ෂා කළහු ය. දැන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ සහෝදරයන්ට වදාළ ප්‍රකාරයට විවේක සුවය දී ඇත. දැන් ඉතින් ඔබ හැරී සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් ජොර්දානෙන් එගොඩ ඔබට දෙන ලද උරුම දේශයෙහි ඔබේ නිවාසවලට යන්න. සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් ඔබට අණ කළ අණපණත් හා ව්‍යවස්ථාව මැනවින් පවත්වන්නට ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කොට, උන් වහන්සේගේ සියලු මාර්ගවල ගමන් කරන්නට ද උන් වහන්සේගේ ආඥා පවත්වන්නට ද උන් වහන්සේට ඇළුම් ව සිට ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ආත්මයෙන් ද උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නට ද වගබලාගන්න.” මෙසේ කියා ජෝෂුවා ඔවුන්ට ආශීර්වාද කොට ඔවුන්ට යන්නට අවසර දුන්නේ ය. ඔව්හු ද තමන්ගේ නිවාසවලට ගියෝ ය. මනස්සේගේ ගෝත්‍රයෙන් අර්ධයකට මෝසෙස් බාෂාන්හි ප්‍රදේශයක් දී තිබුණේ ය. අනික් අර්ධයට ඔවුන්ගේ සහෝදරයන් අතරෙහි බස්නාහිරට ජොර්දාන් ගඟෙන් මෙගොඩ ප්‍රදේශයක් ජෝෂුවා දුන්නේ ය. තවද, ජෝෂුවා ඔවුන්ගේ, නිවාසවලට ඔවුන් යවන කල ඔවුන්ට ආශීර්වාද කරමින්, “ඔබ බොහෝ ධනය ද සිවුපාවුන් ඉතා මහා ගණනක් ද රිදී ද රන් ද ලෝකඩ ද යකඩ ද බොහෝ වස්ත්‍ර ද ඇති ව ඔබේ නිවාසවලට ගොස්, ඔබේ සතුරන්ගෙන් ගත් කොල්ලය ඔබේ සහෝදරයන් සමඟ බෙදා ගන්නැ”යි ඔවුන්ට කීවේ ය. එවිට රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා අණ කළ ලෙස තමන් ලබාගෙන සිටි තමන්ගේ උරුම දේශය වන ගිලියද් දේශයට යන පිණිස කානාන් දේශයේ තිබෙන ෂිලෝහි සිට ඉශ්රායෙල් සෙනඟ කෙරෙන් වෙන් වී පිටත් ව ගියෝ ය.

ජෝෂු 22:1-9 සඳහා වීඩියෝව