ජෝවෙල් 2:1-11
ජෝවෙල් 2:1-11 NRSV
“සියොන්හි හොරණෑව පිඹින්න; දෙවිඳුන්ගේ ශුද්ධ කන්දේ අනතුරු හඬ නඟන්න. දේශයේ සියලු වැසියෝ වෙවුලත් වා! මන්ද, සමිඳාණන් වහන්සේගේ දවස පැමිණේ. එසේ ය, එය ආසන්න ය. ඒ දවස කළුවර අඳුරු දවසක් ය; වලාකුළු සහිත ගන අඳුරු දවසක් ය. ගන අඳුර කඳු පිට පැතිර යන්නාක් මෙන් මහා හමුදාවක් පැමිණෙන්නේ ය. එවැන්නක් කිසි කලෙක නො වී ය; මතු පරම්පරාවල කවදා වත් නොවන්නේ ය. උන්ට පෙරටුව වනසාලන ගින්න නාස්ති කරයි; උන්ට පස්සෙන් බුර බුරා නඟින ගිනි ජාලාවක් ඇවිලෙයි. උන්ට පෙරටුවෙන් දේශය ඒදන් උයන මෙන් තිබේ. උන්ට පස්සෙන් එය පාළුකරයක් වන්නේ ය. උන්ගෙන් බේරෙන කිසිවෙක් නැත. පෙනුමට උන් අසුන් වැනි ය; උන් දුවන්නේ රණ අසුන් ලෙස ය. අශ්ව රථ ශබ්දය මෙන් ද ගින්නෙහි දැවෙන ඉපනැලි මෙන් ද සටනට පෙළගැසුණු සේනාවක් මෙන් ද ගිරි කුළු මත පැන පැන උහු යති. උන් ඉදිරියේ ජනයෝ වෙවුලති; සියලු මුහුණු මැලවී යයි. රණ ශූරයන් මෙන් ඔව්හු ඉදිරියට යති; යුද භටයන් මෙන් පවුරට නඟිති; එකිනෙකා නියමිත මඟ ගමන් කරයි. උන් යන විට හැලහැප්පීමක් නැත; මාර්ගයෙන් පිට යාමක් ද නැත. අවි ආයුධ මැදින් කඩා පැන පසු නොබැස ඉදිරියට ම යති. උන් නගරයට කඩා පනිති; පවුරු පිට නැඟ දුවති; නිවෙස් මුදුනට නැඟ සොරුන් මෙන් කවුළුවලින් රිංගා යති. උන් ඉදිරියෙහි පොළොව කම්පා වෙයි; අහස ගුගුරයි; ඉර හඳ අඳුරු වෙයි; තරු තවත් නොබබළයි. සමිඳුන් සිය සේනාවට මහ හඬින් අණ දෙන සේක. භට හමුදාව අතිවිශාල ය; ඒ අණට කීකරු වන්නා අතිබලවන්ත ය; සමිඳුන්ගේ දවස ත්‍රාසජනක ය; අතිභයංකර ය. එය දැරිය හැක්කේ කවරෙකුට ද?”


