ජෝබ් 42:1-9

ජෝබ් 42:1-9 NRSV

එවිට ජෝබ්, හිමි තුමන් හට පිළිතුරු දෙමින්, මෙසේ කී ය. “ඔබ සව් බලැති දෙවි තුමාණන් බවත්, ඔබට නොකළ හැකි කිසිත් නැති බවත්, මම දනිමි. මා කතා කෙළේ, මට දැනුමක් නැති දේ ගැන ය. මට අචින්ත්‍ය වන, අනවබෝධ වන අසිරිමත් දේ ගැන ය. ඔබ කතා කරන විට සවන් දෙන්නටත්, ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නටත් ඔබ මට අණ කළ සේක. කලින් මා ඔබ ගැන කනින් අසා තිබුණේ ය. එහෙත්, දැන් මාගේ ම දෙනෙතින් මම ඔබ දැක ගතිමි. එබැවින් මම මා ගැන ම ලජ්ජා වෙමි; දූවිල්ලෙහි හා අළුවල හිඳ පසුතැවී සිත් තැවෙමි.” තවද, සමිඳාණන් වහන්සේ මේ වචන ජෝබ්ට වදාළ පසු උන් වහන්සේ තේමානීය එලිපස්ට කතා කොට, “මාගේ සේවකයා වන ජෝබ් මෙන් නුඹ සහ නුඹේ මිතුරන් දෙදෙනා මා ගැන ඇත්ත නොකී බැවින්, මාගේ උදහස නුඹලා කෙරේ ඇවිළී ඇත. එබැවින් නුඹලා දවන යාග පූජාවක් ඔප්පු කරන පිණිස, ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන මාගේ සේවකයා වන ජෝබ් වෙත යන්න. ඔහු නුඹලා වෙනුවෙන් අයැදුම් කරනු ඇත. එවිට නුඹලාගේ අඥානකම්වල හැටියට මා විසින් නුඹලාට දුර්විපාක නොදෙන පිණිස ඔහුගේ අයැදුම් පිළිගන්නෙමි. මාගේ සේවකයා වන ජෝබ් මෙන් නුඹලා මා ගැන ඇත්ත නොකීවහු ය”යි වදාළ සේක. තේමානීය එලිපස් ද ෂුහිය බිල්දද් ද නයමාතීය ශෝපර් ද ගොස්, සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස කළහ. සමිඳාණන් වහන්සේ ජෝබ්ගේ ආයාචනය පිළිගත් සේක.