ජෝබ් 2

2
සාතන් යළිත් ජෝබ් පෙළඹවීම
1නැවත සගලොව රාජ සභාවෙහි ඇමති මණ්ඩලය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි රැස් වූ විට සාතන් ද ඔවුන් අතර විය. 2සමිඳාණන් වහන්සේ කතා කරමින්, “නුඹ දැන් මෙහි පැමිණියේ කොතැන සිට දැ”යි සාතන්ගෙන් විචාළ සේක. සාතන් සමිඳාණන් වහන්සේට උත්තර දෙමින්, “මම මහ පොළොවේ තැනින් තැන සැරිසරා මෙහි ආවෙමි”යි කී ය.
3එවිට සමිඳාණන් වහන්සේ කතා කරමින්, “මාගේ සේවක ජෝබ් ගැන සොයා බැලීමට නුඹට අවස්ථාවක් වී ද? ඔහු වැනි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටින අන් කිසිවෙක් මුළු මහ පොළොවෙහි නැත. නිරපරාදේ ඔහු වනසාලීමට නුඹ මා පෙළඹෙවූ නමුත්, ඔහුගේ දේව භක්තිය කිසි සේත් තව ම අඩු වී නැතැ”යි සාතන්ට වදාළ සේක.
4සාතන් ද උත්තර දෙමින්, “ඇඟ බේරාගෙන, පණ රැක ගැනුම පිණිස මිනිහෙකු නොදෙන දෙයක් ඇද් ද? 5හොඳයි, ඔබේ හස්තය දිගු කොට ඔහුගේ ඇටකටු හා මාංසයට පහර දී බලන්න. එවිට ඔහු ඔබේ මුහුණට ම ඔබට සාප කරනු ඇතැ”යි කී ය.
6එවිට සමිඳාණන් වහන්සේ කතා කරමින්, “හොඳයි, මම ඔහු නුඹ අතට බාර දෙමි. හැබැයි, ඔහුගේ ප්‍රාණයට නම් අත නොතියන්නැ”යි සාතන්ට වදාළ සේක.
7සාතන් සමිඳාණන් වහන්සේ වෙතින් නික්ම ගොස්, ජෝබ්ගේ යටිපතුල පටන් හිස් මුදුන දක්වා ඇඟ හැම තැන ම දරුණු කුෂ්ඨයක් හටගන්වා ඔහුට වද දුන්නේ ය. 8ජෝබ් අළු ගොඩේ වාඩි වී ඇඟ කසා ගැනීමට වළං කැබිලිත්තක් ගත්තේ ය. 9එවිට ඔහුගේ භාර්යාව කතා කරමින්, “ඔය දේව භක්තිය පැවැත්තුවා මදි ද? දෙවියන්ට සාප කොට මැරෙණ එක වඩා හොඳ නැද්දැ”යි කීවා ය.
10එහෙත්, ජෝබ් පිළිතුරු දෙමින්, “මෝඩ ගෑණියක වාගේ ඔබ කතා කරයි. අපි දෙවියන් වහන්සේ අතින් සැපත පිළිගනිමු නම්, විපතත් පිළිගත යුතු නොවේ දැ”යි ඇසී ය. මේ සියල්ලේ දී ම ජෝබ් වචන මාත්‍රයකින් වත් පව් කෙළේ නැත.
මිතුරන්ගෙන් අස්වැසුම්
11ජෝබ්ට මිතුරෝ තුන්දෙනෙක් වූ හ. තේමාන් නුවර එලිපස් ද ෂුහිය බිල්දද් ද නයමා නුවර ශෝපර් ද ජෝබ්ට පැමිණි දරුණු විපත්ති ගැන දැන ගත්හ. ඔහු දැක, ශෝකය ප්‍රකාශ කොට ඔහු සනසනු වස්, සිය ගම්රටවලින් ඔහු වෙත යාමට ඔව්හු නියම කරගත්හ. 12ඔවුන් දුර තියා ජෝබ් දුටු විට ඔවුන්ට ඔහු හඳුනා ගත නොහැකි විය. එහෙත්, ඔහු හඳුනාගත් කෙණෙහි ම ඔව්හු මහ හඬින් හඬන්නට වූ හ. ශෝකයෙන් තමන්ගේ සළු ඉරා ගෙන තම හිස් පිට දූවිලි දමාගත්හ. 13මෙසේ ඔව්හු රෑ සතකුත්, දවල් සතකුත් ඔහු සමඟ බිම වාඩි වී උන්හ. කිසිවෙක් ඔහුට වචන මාත්‍රයකුදු නොකී හ. මන්ද, ඔහුගේ ශෝකය ඉතා බලවත් බව ඔවුන් තේරුම්ගත් බැවිනි.

දැනට තෝරාගෙන ඇත:

ජෝබ් 2: NRSV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න