ජෝබ් 19:8-25
ජෝබ් 19:8-25 NRSV
මා පිටත නොඑන ලෙස එතුමන් මා අවට වැට කොටු බැඳ, පාර අහුරා, මාගේ මාවත අඳුරු පටලයකින් වසා ඇත. එතුමන් මාගේ යසඉසුරු පැහැරගෙන මාගේ හිසෙන් කිරුළ පහකර ඇත. මා නැති වන ලෙස එතුමන් හතර වටින් මට පහර දී, උදුරා දමන ලද ගසක් මෙන් මාගේ බලාපොරොත්තුව බිඳ දමා ඇත. එතුමන් සිය කෝපාග්නිය දල්වා මා සතුරෙකු ලෙස ගණන් ගනු ඇත. මට පහර දීමට සිය යුද හමුදා එවා ඇත. ඔවුන් මාගේ කූඩාරම වටලාගෙන ඇත. එතුමන් මාගේ සහෝදරයන් මා වෙතින් ඈත් කර ඇත. මාගේ මිතුරෝ මට අමුත්තන් වී සිටිති. මාගේ ඥාතීහු අහක් ව ගියහ. මාගේ කලණ මිතුරෝ මා අමතක කළහ. අමුත්තෝ හා මාගේ සේවිකාවෝ මා පිට කෙනෙකු ලෙස ගණන් ගනිති. මා ඔවුන්ට විදේශිකයෙකු වී ඇත. සේවකයාට මා හඬගැසුවත්, ඔහු මට උත්තර නොදෙයි; ඔහුට ආයාචනා කිරීමට මට සිදු වී ඇත. මාගේ බිරිඳට මාගේ හුස්ම පවා දරන්නට බැරි ය; එක කුසේ උපන් අයටත් මම පිළිකුලක් වී සිටිමි. බාල දරුවෝ පවා මට උසුළු-විසුළු කරති; මා නැඟිටින්නට හදන විට පිටුපස හරවා යති. මාගේ සියලු හිත මිතුරෝ මා තදින් පිළිකුල් කරති; මා පෙම්වත් අය මට එරෙහි ව නැඟී සිටිති. මාගේ ඇටකටු හමට ඇලී ඇත; මම මාගේ යටි තොල විකාගෙන සිටිමි. මාගේ මිතුරෙනි, අනේ! මට අනුකම්පා කරන්න; මට අනුකම්පා කරන්න. දෙවිඳාණෝ මට පහර දුන් සේක. දෙවිඳුන් මෙන් ඔබත් මා ලුහුබැඳ එන්නේ මන් ද? මාගේ කයට සිදු වී ඇති විපත ගැන ඔබ සෑහීමට පත් වී නැද් ද? “අනේ! මාගේ වචන ලියා තැබුවොත් කොපමණ හොඳ ද? ඒවා ග්‍රන්ථාරූඪ කරන්නට ඇත්නම්! යකඩ පන්හිඳකින් ගලේ කොටා, ඊයම් යොදා, සදහට ම තබන්නට ඇත්නම්, කොපමණ හොඳ ද? මට එක දෙයක් සහතික ය: එනම්, මාගේ මිදුම්කාරයාණන් ජීවත් ව සිටින බව ද අන්තිමේ දී, මා වෙනුවෙන් කතා කරන බව ද මම දනිමි.

