ශුද්ධවර ජොහන් 9:22-34

ශුද්ධවර ජොහන් 9:22-34 NRSV

ඔහුගේ දෙමවුපියන් මෙසේ කීවේ ජුදෙව්වරුන්ට බියෙනි. මන්ද, ‘යමෙක් උන් වහන්සේ ක්‍රිස්තුවරයාණෝ යයි ඒත්තුගන්නේ නම් ඔහු ධර්මශාලාවෙන් නෙරපාදැමිය යුතු ය’යි ජුදෙව්වරුන් නියම කරගෙන සිටි හෙයිනි. ඒ නිසා ඔහුගේ මවුපියෝ, “ඔහු තේරෙන වයසැති කෙනෙකි; ඔහුගෙන් අසන්නැ”යි කී හ. ඔව්හු අන්ධ ව සිටි මිනිසා නැවතත් ගෙන්වා, “දෙවියන් වහන්සේ ඉදිරියේ ඇත්ත කියන්න; මේ මිනිසා නම් පව්කාරයෙකු බව අපි දනිමු”යයි කී හ. එවිට ඔහු පිළිතුරු දෙමින්, “ඒ තැනැත්තා පව්කාරයෙක් ද නැද්දැ යි මම නොදනිමි; එහෙත් එක දෙයක් මම දනිමි; මම අන්ධ ව සිටියෙමි, දැන් මට පෙනේ” යයි කී ය. එවිට ඔව්හු, “ඔහු ඔබට කුමක් කෙළේ ද? ඔබේ ඇස් පැහැදුවේ කොහොම දැ”යි ඔහුගෙන් ඇසූ හ. ඔහු පිළිතුරු දෙමින්, “මම කලින් ඔබට කීවෙමි, එහෙත් ඔබ මගේ කීම ඇසුවේ නැත. ඔබ එය නැවතත් අසන්නට තැත් කරන්නේ මන් ද? ඔබත් උන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙන්නට අදහස් කරන නිසා වත් දැ”යි ඇසී ය. ඔව්හු ඔහුට බැණවදිමින්, “ඔබ යි ඔහුගේ ශ්‍රාවකයා; අපි නම් මෝසෙස්ගේ ශ්‍රාවකයෝ වම්හ. දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කළ බව අපි දනිමු. එහෙත් මේ මිනිසා ගැන නම්, මොහු කොහෙන් වී දැ යි අපි නොදනිමු”යි කී හ. ඒ මිනිසා පිළිතුරු දෙමින්, “මෙය මහ පුදුමයක්! ඔහු කොතැනින් ආවේ දැ යි ඔබ නොදන්නහු ය; එහෙත් මාගේ ඇස් පෑදුවේ ඔහු ය. දෙවියන් වහන්සේ පව්කාරයන්ගේ බස් නොඅසන බවත්, දේව භක්තිය ඇති, දේව කැමැත්ත කරන, යමෙකු ඇත්නම් ඔහුගේ බස් අසන බවත් අපි දනිමු. යම් කිසිවෙකු අන්ධ ව උපන් කෙනෙකුගේ ඇස් පෑදූ බව ලෝකයේ පටන්ගැන්මේ සිට කවදාවත් ඇසූ දෙයක් නොවේ. මේ තැනැත්තා දෙවියන් වහන්සේ වෙතින් නොපැමිණියෙක් නම් කිසිවක් කරන්නට ඔහුට නොහැකි ය”යි කී ය. ඔව්හු පිළිතුරු දෙමින්, “උපන් දා සිට ම පාපයේ සිටින ඔබ අපට උගන්වන්නට එන්නෙහි දැ”යි කියා ඔහු ධර්මශාලාවෙන් නෙරපාදැමූ හ.