ශුද්ධවර ජොහන් 8:25-32

ශුද්ධවර ජොහන් 8:25-32 NRSV

එබැවින් ඔව්හු, “ඔබ කවරහු දැ”යි ඇසූ හ. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මා ඔබට කී පරිදි, මම මුල සිට ම ඔබට කී තැනැත්තා ම ය. ඔබ ගැන කියන්නටත් විනිශ්චය කරන්නටත් බොහෝ දේ මට ඇත. එහෙත් මා එවා වදාළ තැනැන් වහන්සේ සත්‍යය බැවින් උන් වහන්සේගෙන් මා ඇසූ දේ මම ලෝකයාට ප්‍රකාශ කරමි”යි වදාළ සේක. උන් වහන්සේ පියාණන් වහන්සේ ගැන කතා කළ බව ඔවුන්ට අවබෝධ නො වී ය. එබැවින් ජේසුස් වහන්සේ කතා කොට, “ඔබ මනුෂ්‍ය-පුත්‍රයාණන් ඔසවා ලූ කල මා උන් වහන්සේ ම බවත්, පියාණන් වහන්සේ මට ඉගැන්වූ ලෙස මෙසේ කතා කරනවා මිස, මාගේ ම අධිකාරිත්වයෙන් මා කිසිවක් නොකරන බවත්, ඔබට අවබෝධ වනු ඇත. මා එවා වදාළ තැනැන් වහන්සේ මා සමඟ වැඩ වසන සේක. උන් වහන්සේ මා තනි වෙන්නට නොහැරිය සේක. මන්ද, මා නිරතුරු උන් වහන්සේට ප්‍රිය මනාප දේ කරන බැවිනි”යි වදාළ සේක. උන් වහන්සේ මෙසේ කතා කරන අතර, බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගත්හ. එබැවින්, තමන් වහන්සේ අදහාගත් ජුදෙව්වරුන්ට ජේසුස් වහන්සේ කතා කොට, “ඔබ මාගේ ධර්මයෙහි පිහිටා පවතින්නහු නම්, සැබැවින් ම ඔබ මාගේ ශ්‍රාවකයෝ ය; ඔබ සත්‍යය අවබෝධ කරගන්නහු ය; සත්‍යය ඔබ නිදහස් කරන්නේ ය”යි වදාළ සේක.