ජේසුස් වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ අතරෙහි මැසිවිලි නොදොඩන්න. මා එවා වදාළ පියාණන් වහන්සේ තමන් වෙත ඇද ගන්නා අයෙකුට මිස, අන් කිසිවෙකුට මා වෙතට පැමිණිය නොහැකි ය. මම අන්තිම දවසේ දී ඔහු උත්ථාන කරන්නෙමි. ‘සියල්ලෝ ම දෙවියන් වහන්සේ විසින් උගන්වනු ලබති’යි දිවැසාවලියෙහි ලියා ඇත. දෙවියන් වහන්සේට සවන් දී, උන් වහන්සේගෙන් ඉගෙනගත් සියල්ලෝ ම මා වෙත එති. දෙවියන් වහන්සේ වෙතින් පැමිණි තැනැන් වහන්සේ හැර, අන් කිසිවෙකු දෙවියන් වහන්සේ දැක ඇතැ යි මෙයින් අදහස් නොකරමි, උන් වහන්සේ පමණක් පියාණන් වහන්සේ දැක ඇත. ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, අදහන්නාට සදාතන ජීවනය ඇත. ජීවනදායක ආහාරය මම ය. ඔබේ පියවරු කාන්තාරයේ දී මන්නා කෑහ; එහෙත් ඔව්හු මියගියහ. මෙය වනාහි, ස්වර්ගයෙන් බැස එන ආහාරය බැවින් එයින් පෝෂණය වන කිසිදු මිනිසෙක් නො මැරෙන්නේ ය. ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය මම ය. යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත්, ඔහු සදහට ම ජීවත් වන්නේ ය. මා විසින් දෙනු ලබන ඒ ආහාරය මාගේ මාංසය වේ. මා එය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිස ය”යි වදාළ සේක.
එවිට ජුදෙව්වරු ඔවුනොවුන් අතර විවාද කරමින්, “මේ මිනිසා, ඔහුගේ මාංසය අනුභව කරන පිණිස අපට දෙන්නේ කෙසේ දැ”යි කී හ. එබැවින් ජේසුස් වහන්සේ ඔවුන් මෙසේ ඇමතූ සේක: “ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ මාංසය අනුභව නොකරන්නහු නම්, ඔහුගේ රුධිරය පානය නොකරන්නහු නම්, ඔබ තුළ ජීවනය නැත. යමෙක් මාගේ මාංසය අනුභව කරන්නේ ද, මාගේ රුධිරය පානය කරන්නේ ද, ඔහුට සදාතන ජීවනය ඇත. තවද, මම ඔහු අන්තිම දවසේ දී උත්ථාන කරන්නෙමි. මන්ද, මාගේ මාංසය සැබෑ ආහාරය වේ; මාගේ රුධිරය සැබෑ පානය වේ. මාගේ මාංසය අනුභව කරන, මාගේ රුධිරය පානය කරන තැනැත්තේ මා තුළ ජීවත් වන්නේ ය; මම ද ඔහු තුළ ජීවත් වන්නෙමි. ජීවමාන පියාණන් වහන්සේ මා එවා වදාළ බැවින්, මා පියාණන් වහන්සේ නිසා ජීවත් වන ලෙස ම, මා අනුභව කරන තැනැත්තේ, මා නිසා ජීවත් වෙයි. මේ වනාහි ස්වර්ගයෙන් පහළ වූ ආහාරය වේ. එය අපේ පියවරුන් වැළඳූ ආහාර මෙන් නොවේ. ඒ ආහාරය වැළඳූ ඔව්හු මළහ. එහෙත්, මේ ආහාරය වළඳන තැනැත්තේ සදහට ම ජීවත් වන්නේ ය.” උන් වහන්සේ කපර්ණවුමේ ධර්මශාලාවෙහි උගන්වමින් සිටිය දී මේ සියල්ල වදාළ සේක.
එය ඇසූ විට, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ බොහෝ දෙනෙක් “මෙය දරාගන්නට බැරි කීමකි, එතුමාණන්ට සවන් දී සිටිය හැක්කේ කාට දැ”යි තමන් අතරේ කතා කරගත්හ. ශ්‍රාවකයන් මෙසේ මැසිවිලි කියන බව ජේසුස් වහන්සේ දිවැසින් දැන ඔවුන් අමතා, “මෙය ඔබට අධෛර්යයට පත්වීමට හේතුවක් ද? එසේ නම්, මනුෂ්‍ය-පුත්‍රයාණන් පෙර සිටි තැනට නඟිනු බව ඔබ දුටුවොත් කෙසේ ද? ජීවනය දෙන්නේ ආත්මය වේ. මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා ඔබට වදාළ වචන ආත්මය ද ජීවනය ද වෙයි. එහෙත් නොඅදහන සමහරෙක් ඔබ අතරෙහි සිටිති”යි වදාළ සේක. එසේ වදාළේ, නොඅදහන්නෝ කවුරු ද කියාත්, තමන් වහන්සේ පාවා දෙන්නට යන්නේ කවරෙක් ද කියාත්, ජේසුස් වහන්සේ මුල සිට ම දැනගෙන සිටි බැවිනි. එහෙයින් උන් වහන්සේ ඔවුන් අමතා, “මාගේ පියාණන් වහන්සේගෙන් වරය ලැබූ කෙනෙකුට මිස, අන් කිසිවෙකුට මා වෙතට පැමිණිය නො හැකි බව මා කීවේ ඒ නිසා ය”යි වදාළ සේක.
මේ නිසා එවක් පටන් උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබට වී, තවත් උන් වහන්සේ අනුව නොගියහ.
ජේසුස් වහන්සේ දොළොස් දෙනා අමතා, “ඔබත් ඉවත් ව යන්නට සිතන්නහු දැ”යි ඇසූ සේක. සීමොන් පේදුරු පිළිතුරු දෙමින්, “ස්වාමීනි, අප කවරෙකු වෙතට යන්න ද? සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙත ය. ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයාණන් වහන්සේ බව අපි අදහමු. එසේ ම ඒ බව දනිමු”යි කී ය.