ශුද්ධවර ජොහන් 3:26-36

ශුද්ධවර ජොහන් 3:26-36 NRSV

එවිට ඔව්හු ජොහන් වෙතට පැමිණ, “ඇදුරිඳුනි, ජොර්දානෙන් එගොඩ ඔබ සමඟ සිටියාවූ ද ඔබ විසින් සාක්ෂි දරනු ලැබුවාවූ ද තැනැත්තේ ම බව්තීස්ම-ස්නාපනය කරයි. සියල්ලෝ ම ඔහු වෙතට යති”යි කී හ. ජොහන් පිළිතුරු දෙමින් මෙසේ කී ය: “ස්වර්ගයෙන් දෙන ලද දෙයක් මිස අන් කිසිවක් මිනිසෙකුට ලැබිය නො හැකි ය. මම ක්‍රිස්තුස් නොවෙමි; එහෙත්, ‘මම උන් වහන්සේට ප්‍රථමයෙන් එවන ලද්දෙමි’යි මා කී බවට ඔබ ම සාක්ෂිකාරයෝ ය. මනාලිය අයිති මනාලයාට ය, මනාලයා ළඟ සිට සවන් දෙන ඔහුගේ මිත්‍රයා, මනාලයාගේ කටහඬ අසා අතිශයින් ප්‍රමුදිත වෙයි. මේ මාගේ ප්‍රීතිය පිරී ඇත්තේ එබැවිනි. උන් වහන්සේගේ නැඟීමත්, මාගේ බැසීමත් සිදුවිය යුතු ය.” “ඉහළින් වඩිනා තැනැත්තේ සියල්ලනට වඩා උතුම් ය. භූමියෙන් වන තැනැත්තේ භූමියට අයිති වේ; ඔහු භෞමික දේ ගැන කතා කරයි. ස්වර්ගයෙන් එන තැනැන් වහන්සේ සියල්ලනට ම වඩා උතුම් ය; උන් වහන්සේ තමන් ඇසූ දුටු දේ ගැන සාක්ෂි දරන සේක. එහෙත්, කිසිවෙක් උන් වහන්සේගේ සාක්ෂිය නොපිළිගනිති. උන් වහන්සේගේ සාක්ෂිය පිළිගන්නා තැනැත්තේ දෙවියන් වහන්සේ සත්‍යවාදි බව සහතික කරයි. දෙවියන් වහන්සේ එවා වදාළ තැනැන් වහන්සේ, දෙවියන් වහන්සේගේ වදන් පවසන සේක. එසේ වන්නේ දෙවියන් වහන්සේ ශුද්ධාත්මය සීමා රහිත ව දානය කරන බැවිනි. පියාණන් වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන සේක. සියල්ල උන් වහන්සේ අතට භාර දී ඇත. යමෙක් පුත්‍රයාණන් අදහන්නේ ද ඔහුට සදාතන ජීවනය ඇත. එහෙත් යමෙක් පුත්‍රයාණන් ප්‍රතික්ෂේප කරන්නේ ද ඔහුට ජීවනය නොලැබේ. දේව උදහස ඔහු පිට රඳා පවති යි.”