ශුද්ධවර ජොහන් 16:16-24
ශුද්ධවර ජොහන් 16:16-24 NRSV
“ස්වල්ප වේලාවකින් ඔබ මා තවත් නොදක්නහු ය; එහෙත් තව ස්වල්ප වේලාවකින් ඔබ මා දක්නහු ය”යි උන් වහන්සේ වදාළ සේක. එබැවින් උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් සමහරෙක් තම තමන් අතර කතා කරගනිමින්: “ ‘ස්වල්ප වේලාවකින් ඔබ මා තවත් නොදක්නහු ය; එහෙත් තව ස්වල්ප වේලාවකින් ඔබ මා දක්නහු ය,’ කියා ද එයට හේතුව ‘මා පියාණන් වහන්සේ වෙතට යන නිසා ය’ කියා ද උන් වහන්සේ අපට වදාරන මේ කතාව කුමක් දැ”යි කී හ. “උන් වහන්සේ ‘ස්වල්ප වේලාවකැ’යි කියන මේ දේ කුමක් ද? උන් වහන්සේ කියන කතාව අපට නොතේරේ” යයි කී හ. ඔවුන් තමන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නට අදහස් කළ බව ජේසුස් වහන්සේ දැන, මෙසේ ඔවුන්ට වදාළ සේක: “ ‘ස්වල්ප වේලාවකින් ඔබ මා තවත් නොදක්නහු ය; එහෙත් තව ස්වල්ප වේලාවකින් ඔබ මා දක්නහු’යි මා කී මේ කරුණ ගැන ඔබ එකිනෙකා විචාරන්නහු ද? ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, ඔබ හඬා වැලපෙන්නහු ය; එහෙත් ලෝකයා ප්‍රීති වන්නාහ. ඔබ දොම්නස් වන නමුත් ඔබේ දොම්නස සොම්නසට හැරෙනු ඇත. ස්ත්‍රියකට ප්‍රසව මොහොත පැමිණි කල, ඇගේ වේලාව පැමිණ තිබෙන බැවින් ඈට දුක් වේදනා ඇති වේ. එහෙත් ඈ දරුවා බිහි කළ පසු ලෝකයට දරුවෙක් උපන්නේ ය යන ප්‍රීතිය නිසා, වේදනාව අමතක කරන්නී ය. එමෙන් ම ඔබ දැන් ශෝක වන්නහු ය. එහෙත් නැවත මම ඔබ දකින්නෙමි. එවිට ඔබේ සිත් ප්‍රීතියෙන් පිනා යයි. ඔබේ ප්‍රීතිය ද කිසිවෙක් ඔබෙන් පැහැර නොගනිති. “ඒ දවසේ දී ඔබ කිසි ප්‍රශ්නයක් මාගෙන් අසන්නේ නැත. ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් යමක් ඉල්ලුවොත්, උන් වහන්සේ ඒ දේ ඔබට දෙන සේක. මේ වනතෙක් ඔබ මාගේ නාමයෙන් කිසිවක් ඉල්ලා නැත. ඉල්ලන්න, ඔබට ලැබේ; මෙසේ ඔබගේ ප්‍රීතිය පූර්ණ වන්නේ ය.”

