ශුද්ධවර ජොහන් 11:5-16

ශුද්ධවර ජොහන් 11:5-16 NRSV

ජේසුස් වහන්සේ මාර්තාට ද ඇගේ සොහොයුරියට ද ලාසරස්ට ද ප්‍රේම කළ සේක. එහෙත් ඔහු අසනීපයෙන් සිටින බව උන් වහන්සේට සැළ වූ පසු, තමන් සිටි ස්ථානයෙහි ම දෙදිනක් නතර වී සිටි සේක. ඉන්පසු උන් වහන්සේ ශ්‍රාවකයන් අමතා, “අපි යළිත් ජුදා දේශයට යමු”යි වදාළ සේක. ශ්‍රාවකයෝ ද, “ගුරුදේවයෙනි, මේ ළඟ දී ජුදෙව්වරු ඔබට ගල් ගසන්නට මාන බැලූ හ. ඉදින් ඔබ නැවතත් එහි වඩින සේක් දැ”යි ඇසූ හ. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “දිවා කාලයට දොළොස් පැයක් තිබෙනවා නොවේ ද? යමෙක් දවල් කාලයෙහි ඇවිදින්නේ නම්, මෙලොව එළිය ඔහුට පෙනෙන බැවින් ඔහු නොපැකිළෙයි. එහෙත් යමෙක් රාත්‍රි කාලයෙහි ඇවිදින්නේ නම්, ඔහු තුළ එළිය නැති නිසා ඔහු පැකිළේ ය”යි පැවසූ ජේසුස් වහන්සේ නැවතත් ඔවුන් අමතා, “අප හිතමිත්‍ර ලාසරස් සැතපී සිටියි; ඔහු පුබුදුවන පිණිස යන්නෙමි”යි වදාළ සේක. එවිට ශ්‍රාවකයෝ කතා කොට, “ස්වාමීනි, ඔහු සැතපී සිටී නම් ඔහුට සුව වනු ඇතැ”යි කී හ. සැතපීම යන්නෙන් ජේසුස් වහන්සේ අදහස් කෙළේ ලාසරස්ගේ මරණය ය. එහෙත් ඔවුන් එය තේරුම්ගත්තේ නිදාගැන්ම යනුවෙනි. එබැවින් ජේසුස් වහන්සේ පැහැදිලි ලෙස කතා කරමින්, “ලාසරස් මියගොස් ඇත. ඔබ විශ්වාස කරන පිණිස, ඔබගේ ම යහපත සඳහා, මා එහි නොසිටීම ගැන ප්‍රීති වෙමි. එසේ වී නමුත්, අපි ඔහු වෙතට යමු”යි වදාළ සේක. ‘නිවුන්නා’ යයි නම් ලත් තෝමස් අනෙක් ශ්‍රාවකයන් අමතා, “උන් වහන්සේ සමඟ නසින පිණිස අපිත් යමු”යි කී හ.