ශුද්ධවර ජොහන් 10:1-11

ශුද්ධවර ජොහන් 10:1-11 NRSV

ජේසුස් වහන්සේ කතා කරමින්, “ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, දොරටුවෙන් බැටළු ගාලට ඇතුළු නොවී අන් තැනකින් නැඟී පැන එන්නා සොරෙක් ද කොල්ලකන්නෙක් ද වේ. එහෙත් දොරටුවෙන් ඇතුළු වෙන්නා බැටළුවන්ගේ එඬේරා ය. දොරටු පාලයා ඔහුට දොර හරියි; බැටළුවෝ ඔහුගේ කටහඬ අඳුනති. ඔහු තමාගේ ම බැටළුවන්ට නම් කියා අඬගසා උන් පිටතට ආ විට, උන්ට පෙරටුව යයි; බැටළුවෝ ද ඔහුගේ කටහඬ අඳුනන බැවින් ඔහු පසුපස්සේ යති. එහෙත් බැටළුවෝ අමුත්තෙකු පසුපස්සේ නොයති; එපමණක් නොව, ඔහු වෙතින් පලා යති. මන්ද, උන් අමුත්තන්ගේ කටහඬ නාඳුනන බැවිනි”යි වදාළ සේක. ජේසුස් වහන්සේ මේ උපමාව ඔවුන්ට වදාළ නමුත්, එයින් කුමක් අදහස් කළ සේක් දැ යි ඔව්හු තේරුම් නොගත්හ. එහෙයින්, යළිත් ජේසුස් වහන්සේ ඔවුන් අමතා, “ඒකාන්තයෙන් ම මම ඔබට කියමි. බැටළුවන්ට දොරටුව මම ය. මට පළමුව ආ සියල්ලෝ ම සොරු ද කොල්ලකන්නෝ ද වෙති. බැටළුවෝ ඔවුන්ට ඇහුම්කන් නුදුන්හ. දොරටුව මම ය; මා තුළින් යමෙක් ඇතුළු වන්නේ ද ඔහු ගළවනු ලැබ ඇතුළට හා පිටතට ගොස් ආහාර ලබන්නේ ය. සොරා එන්නේ සොරකම් කරන්නටත්, මරන්නටත්, විනාශ කරන්නටත් පමණකි. මා පැමිණියේ ඔවුන් හට ජීවනය ලැබෙන පිණිස ය. සපුරා ම එය ලැබෙන පිණිස ය. “යහපත් එඬේරා මම වෙමි. යහපත් එඬේරා, තම ජීවිතය බැටළුවන් උදෙසා පූජා කරන්නේ ය.

ශුද්ධවර ජොහන් 10:1-11 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය