වීරාවලිය 6:1-12

වීරාවලිය 6:1-12 NRSV

ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. ඒ නිසා සමිඳාණන් වහන්සේ මිදියන්වරුන් අතට ඔවුන් සත් අවුරුද්දකට පාවා දුන් සේක. මිදියන්වරු ඉශ්රායෙල්වරුන්ට වඩා බලසම්පන්න වූ හ. මිදියන්වරුන්ගෙන් බේරෙන පිණිස ඉශ්රායෙල් සෙනඟ කඳුවිවරවල ගුහා ද කොටු ද පාවිච්චි කළහ. ඉශ්රායෙල්වරුන් බීජ වැපුරූ හැම විට ම මිදියන්වරු ද අමලෙක්වරු ද පෙරදිග වැසියෝ ද ඔවුන්ට පහර දෙන්නට පැමිණියෝ ය. ඔව්හු ඒ ප්‍රදේශයේ කඳවුරු බැඳ, ගාසා දොරටු දක්වා පොළොවේ භවභෝග නාස්ති කළෝ ය. ඔව්හු ආහාර වත්, එළු බැටළුවන් වත්, ගවයන් වත්, කොටළුවන් වත් ඉශ්රායෙල්වරුන්ට ඉතිරි නොකළෝ ය. ඔව්හු තමන්ගේ ගවයන් ද කූඩාරම් ද ඇතිව පැමිණියෝ ය; ඔව්හු ද ඔවුන්ගේ ඔටුවෝ ද ගණන් කළ නොහැකි විශාල පළඟැටියන් සංබ්‍යාවක් මෙන් අවුත් දේශය විනාශ කරන පිණිස එයට ඇතුළු වුණෝ ය. මිදියන්වරුන් නිසා ඉශ්රායෙල්වරු ඉතා දුඃඛිත තත්ත්වයකට පත් වුණෝ ය. එවිට ඉශ්රායෙල්වරු සමිඳාණන් වහන්සේට මොරගැසුවෝ ය. මිදියන්වරුන් නිසා ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට මොරගැසූ කල, උන් වහන්සේ දිවැසිවරයෙකු ඉශ්රායෙල් ජනයා වෙත එවූ සේක. ඔහු ඔවුන් අමතා, “ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ”යි කී ය. “මම නුඹලා මිසරයෙන් පිටතට ගෙනවුත්, වහල්කමේ නිවාසයෙන් පිටතට පැමිණෙව්වෙමි. මිසරවරුන්ගේ අතින් ද නුඹලාට පීඩා කළ සියල්ලන්ගේ අතින් ද නුඹලා නිදහස් කර, නුඹලා ඉදිරියෙන් ඔවුන් පන්නා දමා ඔවුන්ගේ දේශය නුඹලාට දිනිමි. මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ ය කියා ද, නුඹලා වාසය කළ දේශයේ සිටි අමෝරිවරුන්ගේ දෙවිවරුන්ට ගරුබිය නොදක්වන්න කියා ද මම නුඹලාට කීවෙමි. එහෙත්, නුඹලා මාගේ හඬට සවන් නොදෙන්නහු ය.” සමිඳාණන් වහන්සේගේ දූතයා පැමිණ අබියෙශ්‍රීය ජෝවාෂ්ට අයත් ඔප්‍රාහි තිබෙන ආලෝන අරඹ යට හිඳ ගත්තේ ය. ජෝවාෂ්ගේ පුත් ගිඩියොන් මිදියන්වරුන්ගෙන් තිරිඟු සඟවාගන්න පිණිස ඒවා මුද්‍රික යන්ත්‍රයෙහි මඬිමින් සිටියේ ය. සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුට පෙනී, “ධෛර්යවත්, බලවත් මනුෂ්‍යය, සමිඳාණන් වහන්සේ ඔබ සමඟ සිටින සේකැ”යි කී ය.

වීරාවලිය 6:1-12 සඳහා වීඩියෝව

වීරාවලිය 6:1-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය