ඔහු රියනක් දිග දෙමුවහත් කඩුවක් සාදාගෙන එය තමාගේ දකුණු කලවයෙහි ඇඳුම් යට බැඳගෙන ගොස් මෝවබ්ගේ රජ වූ එග්ලොන්ට ඒ කප්පම පිරිනැමී ය. එග්ලොන් වනාහි ඉතා තර මිනිසෙකි. ඒහුද් කප්පම පිරිනමා නිම වූ කල කප්පම ගෙන ගිය මිනිසුන් පිටත් කර හැරියේ ය. එහෙත්, ඔහු ගිල්ගාල් ළඟ කැපූ ගල් තිබෙන තැන සිට හැරී ගොස්, “රජතුමනි, ඔබට කියන්න රහස් පණිවුඩයක් මට ඇතැ”යි කීවේ ය. රජ තෙමේ, “නිශ්ශබ්දවන්න” කියා, ඔහු වෙත සිටි සේවකයන් ඔහු කෙරෙන් පිටතට ඇරියේ ය. ඒහුද් රජතුමා වෙත පැමිණියේ ය. ඔහු තමාගේ උඩුමහල් තලෙහි තනියම ඉඳගෙන සිටියේ ය. ඒහුද් ඔහු අමතා, “ඔබට දෙවියන් වහන්සේගේ පණිවුඩයක් දන්වන්න මට ඇතැ”යි කී ය. ඔහු හුනස්නෙන් නැඟිට්ටේ ය. ඒහුද් තමාගේ වමත දිගු කොට දකුණු කලවයෙන් කඩුව ඇදගෙන රජුගේ බඩට ඇන්නේ ය. තලය සමඟ මිටත් බඩ ඇතුළට ගියේ ය. රජුගේ බඩෙන් ඒහුද් කඩුව ඇද නොගත් නිසා, තලය මාංසයෙන් වැසී ගොස් පිටුපසින් එළියට නෙරා ආයේ ය. ඒහුද් පිටත ශාලාවට ගොස්, උඩුමහලේ දොරවල් වසා තබා, අගුලු දමා ගියේ ය. ඔහු පිටත් ව ගිය කල රජුගේ මෙහෙකරුවෝ අවුත් බැලූ හ. ඔව්හු උඩුමහලේ දොරවල් අගුලු දමා තිබෙනවා දැක, රජ තෙම, ‘උඩුමහල් තලයේ රහස් කාමරයේ ශරීරකෘත්‍යය කරනු ඇතැ’යි සිතූ හ. ඔව්හු තුෂ්ණිම්භූත ව බලා සිටියෝ ය. ඔහු උඩුමහලෙහි දොරවල් නොහැරිය බැවින්, ඔව්හු යතුර ගෙන ඒවා ඇරිය කල, ඔවුන්ගේ ස්වාමියා බිම වැටී, මැරී සිටිනු දුටුවෝ ය. ඔවුන් ප්‍රමාදවෙමින් සිටිය දී, ඒහුද් කැපූ ගල් ඇති ස්ථානය පසු කර සෙයිරාට ගැළවී ගියේ ය. ඔහු අවුත් එප්‍රායිම් කඳු රටේ දී හොරණෑවක් පිම්බේ ය. එවිට ඉශ්රායෙල් ජනයා ඔහු සමඟ කඳු රටෙන් බැස ගියෝ ය. ඔහු ඔවුන්ට පෙරටුවෙන් ගොස්, ඔවුන්ට කතා කොට, “මා පස්සේ එන්න; මන්ද, සමිඳාණන් වහන්සේ ඔබේ සතුරන් වන මෝවබ්වරුන් ඔබේ අතට පාවා දී ඇතැ”යි කීවේ ය. ඔව්හු ඔහු පස්සේ ගොස්, මෝවබ් ළඟ තිබෙන ජොර්දාන්හි තොටුපොළවල් අල්ලාගෙන කිසිවෙකුට එයින් එගොඩ වන්නට ඉඩ නොදුන්නෝ ය. ඔව්හු ඒ අවස්ථාවේ දී මෝවබ්වරුන් දසදහසක් පමණ මැරුවෝ ය. ඒ මෝවබ්වරු සියලු දෙන ශක්තිසම්පන්න බලවන්ත අය වූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ගැළවුණේ නැත. ඒ දවසේ දී මෝවබ්වරු ඉශ්රායෙල්වරුන් විසින් යටත් කරනු ලැබූ හ. ඉන්පසු අසූ අවුරුද්දක් තුළ දේශයේ සාමය පැවැතුණේ ය.
වීරාවලිය 3 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: වීරාවලිය 3:16-30
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ