වීරාවලිය 2:16-23
වීරාවලිය 2:16-23 NRSV
එවිට ඉශ්රායෙල් සෙනඟ කොල්ලකෑ අයගෙන් ඔවුන් ගළවාගන්න පිණිස සමිඳාණන් වහන්සේ වීර නායකයන් පත් කළ සේක. එහෙත්, ඔව්හු ඒ වීර නායකයන්ට වත් සවන් නොදී උන් වහන්සේට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගෙන ඔවුන්ට නමස්කාර කළෝ ය. සමිඳාණන් වහන්සේගේ ආඥාවලට කීකරු ව සිටි ඔවුන්ගේ පියවරුන් මෙන් ඔව්හු ක්‍රියා නොකොට, ඔවුන් ගිය මාර්ගයෙන් වහා ම ඉවත් ව ගියෝ ය. සමිඳාණන් වහන්සේ ඔවුන්ට වීර නායකයන් පත් කර දුන් විට උන් වහන්සේ වීර නායකයන් සමඟ සිට, ඔවුන්ගේ මුළු ජීවිත කාලය තුළ ඉශ්රායෙල්වරුන් සතුරන්ගේ අතින් ගැළෙවු සේක. ඔවුන්ට පීඩා කළාවූ ද ඔවුන් පොඩි කළාවූ ද අය කරණකොටගෙන හටගත් ඔවුන්ගේ කෙඳිරිගෑම නිසා සමිඳාණන් වහන්සේ ඔවුන්ට අනුකම්පා කළ සේක. එහෙත්, වීර පුරුෂයෙකු මැරුණු කල, ඔව්හු හැරී අන් දෙවිවරුන් අනුව ගොස්, ඔවුන්ට වැඳුම්පිදුම් හා නමස්කාර කරමින්, තමන්ගේ පියවරුන්ටත් වඩා දූෂ්‍යකම් කළහ. ඔව්හු ඔවුන්ගේ ක්‍රියාවලින් වත්, මුරණ්ඩුකම්වලින් වත් කිසිවක් අත්නෑරියෝ ය. සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ඇවිළුණේ ය. එවිට උන් වහන්සේ මෙසේ වදාළ සේක: “මේ ජාතිය මාගේ හඬට සවන් නොදී, මා ඔවුන්ගේ පියවරුන්ට අණ කළ මාගේ ගිවිසුම කඩ කළ බැවින්, මම ජෝෂුවා නසින විට ඉතිරි ව සිටි ජාතීන්ගෙන් එක් කෙනෙකු වත් ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් මින්පසු පන්නා නොදමන්නෙමි. මෙසේ කරන්නේ, ඔවුන්ගේ පියවරුන් මාගේ මාර්ගය රක්ෂා කළ පරිදි, ඔව්හු ද ඒ මාර්ගයේ හැසිරෙන ලෙස එය රක්ෂා කරත් ද නැද්ද යනු ඒ ජාතීන් කරණකොටගෙන ඉශ්රායෙල් ජනයා සෝදිසිකර බලන පිණිස ය.” එබැවින් සමිඳාණන් වහන්සේ ඒ ජාතීන් ජෝෂුවා අතට පාවා නොදී, ඔවුන් ඉක්මනින් පන්නා නොදමා එහි විසීමට ඉඩ දුන් සේක.

