ජාකොබ් 3:2-13

ජාකොබ් 3:2-13 NRSV

අපි සියල්ලෝ ම බොහෝ විට වරදට වැටෙමු. යමෙක් වචනයෙන් වරදක් නොකරන්නේ නම්, ඔහු මුළු ශරීරය දමනය කරගන්නට සමත්, සර්ව සම්පූර්ණ මනුෂ්‍යයෙකි. අශ්වයන් කීකරු කරගන්නා පිණිස උන්ට කටකලියා දැමූ විට අපි උන්ගේ මුළු ශරීරය ම දමනය කරගනිමු. නැව් ගැන සිතන්න, නැවක් කෙතරම් විශාල වුව ද, සැඬ සුළඟට ගසාගෙන යන විට, ඉතා කුඩා සුක්කානමකින් නැව්පතියා එය තමා රිසි සේ හරවාගෙන යයි. එලෙස ම දිව කුඩා අවයවයක් වුව ද එය ලොකුවට පුරසාරම් දොඩයි. කුඩා ගිනි පුපුරකින් කොපමණ මහත් ළැව් ගින්නක් හටගනී ද? දිව ද ගින්නකි. එය අපේ ඉඳුරන් අතර, අදමිටුකමින් පිරුණු ලෝකයකි. එය මුළු ශරීරය දූෂණය කොට, නිරා ගින්නෙන් සකල ලෝකයට ගිනි දල්වයි. සියලු ආකාර වන මෘගයන් ද කුරුල්ලන් ද උරග ජාතීන් ද මුහුදු සතුන් ද පෙර මෙන් දැනුත්, මිනිසාට දමනය කළ හැකි ය. එහෙත් දිව දමනය කිරීම කිසිවෙකුට නුපුළුවන. එය හික්මවිය නොහැකි විෂඝෝර නපුරු ඉන්ද්‍රියයකි. එයින් අපි ස්වාමීන් වන පියාණන් වහන්සේ පසසමු; එයින් ම දිව්‍ය සමානත්වයෙන් මවන ලද මනුෂ්‍යයන්ට සාප කරමු. ප්‍රශංසාවත් සාපයත් එක ම මුඛයෙන් නික්මෙයි. මාගේ සහෝදරයෙනි, මෙසේ වීම හරි නැත. දිය උල්පතේ එක සිදුරෙන් මිරිදියත් කරදියත් නික්ම එයි ද? මාගේ සහෝදරයෙනි, දිවුල් ගසේ රට වෙරළු වත්, මිදි වැලේ දිවුල් වත් හටගනී ද? කරදිය උල්පතෙන් මිරිදිය නික්මෙන්නේ නැත. ඔබ අතර පැණවත් නැණවත් යමෙක් සිටී ද? එසේ නම් ඔහු තමාගේ සදාචාරයෙන් ද ප්‍රඥාවෙන් ඇති වන විනීත ක්‍රියාවලින් ද එය ප්‍රකාශ කෙරේ වා.