ජාකොබ් 1:9-18

ජාකොබ් 1:9-18 NRSV

පීඩිත තත්ත්වයක සිටින සහෝදරයා තමා උසස් කරනු ලැබීම ගැන ද, ධනපතියා තමා පහත් කරනු ලැබීම ගැන ද උදන් අනා වා. මන්ද, ධනවතා තණ මලක් මෙන් පහ ව යන්නේ ය. දැවෙන හිරු කිරණින් තණ කොළ වියළී යයි; ඒවායේ මල් පෙති වැටී යයි. එහි සෞන්දර්යය පහ වී යයි. එලෙස ම ධනවතා සිය උපාය මාර්ගවල දී මැල වී යයි. කම්කටොලු ඉවසන මනුෂ්‍යයා භාග්‍යවන්තයෙකි. මන්ද, ඔහු පරීක්ෂාවෙන් ජය ලැබූ කල, දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නවුන්ට උන් වහන්සේ පොරොන්දු වූ, ජීවන කිරීටය ලබන්නේ ය. පරීක්ෂා කරනු ලබන කල, “මා පොළඹවන්නේ දෙවියන් වහන්සේ ය”යි කිසිවෙක් නොකියා වා. දෙවියන් වහන්සේ නපුරෙන් පෙළඹෙන්නේ නැත. කිසිවෙකු පොළඹවන්නෙත් නැත. ඒ ඒ මිනිසාට පරීක්ෂාව පැමිණෙන්නේ තම තමාගේ ම තෘෂ්ණාවෙන් මුළා වී පෙළඹෙන විට ය. මෙසේ තෘෂ්ණාව පිළිසිඳ, පාපය බිහි කරයි. පාපය ද මුහුකුරා ගොස් මරණය සිදු කරයි. මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නොරැවටෙන්න. සෑම යහපත් දීමනා ද සියලු අගනා ත්‍යාග ද නොවෙනස් වන සුලු, පහ ව යන බවට ඡායා මාත්‍රයකුදු නැති ආලෝකයේ පියාණන් වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේ ය. උන් වහන්සේ මැවූ සත්ත්වයන් අතර අප මුදුන් මල්කඩ වීමේ පෙර ලකුණු වශයෙන්, සිය අරමුණ අනුව උන් වහන්සේ සත්‍ය වචනයෙන් අප ජනිත කළ සේක.

ජාකොබ් 1:9-18 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය