යෙසායා 53:1-9
යෙසායා 53:1-9 NRSV
අප සැළ කළ දේ විශ්වාස කෙළේ කවරෙක් ද? සමිඳුන්ගේ බලය එළිදරව් වී ඇත්තේ කවරෙකුට ද? මාගේ සේවකයාණෝ වැඩෙන පැළෑටියක් සේ ද වියළි බිමෙන් මතු වන අංකුරයක් සේ ද සමිඳුන් අබියස වැඩුණෝ ය. එතුමන්ට රූපවත්කමක් හෝ පැහැපත්කමක් හෝ නැත; මන පිනවන ශෝභමානකමක් ද නැත; මිනිසුන් විසින් පිළිකුල් කොට එපා කරනු ලැබූ හ; දුක හා වද වේදනා දැරූ මිනිස් කෙනෙක් වූ හ. එතුමන් දුටු විට මිනිස්සු ඉවත බලාගත්හ; එතුමාණෝ නෙරපනු ලැබූ හ. අපි එතුමන් ගැන සැලකිල්ලක් නොදැක්වූවෙමු. එබැවින් එතුමාණන් ඉසුළුවේ අපේ දුක ය; දරාගත්තේ අපේ පීඩා ය. මේවා දඬුවම් යයි අපට සිතුණේ ය. දෙවි තුමන් දුන් පහර යයි අපට හැඟුණේ ය. එහෙත්, එතුමන් තුවාළ ලැබුවේ අපේ අපරාධ නිසා ය; පොඩි කරනු ලැබුවේ අපේ පව් නිසා ය. එතුමන් ලත් දඬුවමින් අපට සාමදානය ලැබී ඇත; එතුමන් ලැබූ පහරවලින් අපට සුවය ලැබී ඇත. අපි සියල්ලෝ ම බැටළුවන් මෙන් මුළා වී තම තමා සිතූ මඟට හැරී ගියෙමු. සමිඳාණෝ අප සියල්ලන්ගේ පව් එතුමන් පිට තැබූ සේක. සේවකයාණන්ට පීඩා කළ විට එතුමෝ මුඛය නෑර සිටිය හ; නිහතමානී ලෙස එය දැරූ හ. මරන්න ගෙන යන බැටළු පොව්වකු සේ ද බැටළු දෙනක ලොම් කපන්නා ඉදිරියේ නිහඬ ව සිටින සේ ද එතුමෝ මුඛය නෑර සිටිය හ. බලහත්කාරකමින් ද යුක්ති විරෝධි ලෙස ද එතුමෝ ගෙනයනු ලැබූ හ; මනු ලොවින් සිඳදමනු ලැබූ හ; සෙනඟගේ පව් උදෙසා මරනු ලැබූ හ. මේ කරුණු ගැන, එතුමන් උදෙසා පෙනී සිටින්නේ කවරෙක් ද? එතුමන් කිසි වරදක් නොකළ නමුත්, කිසි බොරුවක් නොකී නමුත්, ඔවුන් එතුමන් මිහිදන් කෙළේ අදමිටුවන් සමඟ එක මිනී වළේ ය. ධනවතුන් සමඟ එක සොහොන් බිමේ ය.

