උත්පත්ති 41:37-57

උත්පත්ති 41:37-57 NRSV

ඔහුගේ යෝජනාව පාරාවෝට ද ඔහුගේ නිලධාරීන් සියල්ලන්ට ද සතුටුදායක විය. එවිට පාරාවෝ තම නිලධාරීන් අමතා, “තමන් තුළ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වැඩසිටින මෙබඳු කෙනෙකු අපට තවත් සොයාගත හැකි දැ”යි ඇසී ය. මෙසේ විචාරා, ඔහු ජෝසෙප්ට කතා කොට, “දෙවියන් වහන්සේ මේ සියල්ල ඔබට පෙන්වා වදාළ හෙයින් ඔබ වැනි බුද්ධිමත්, දක්ෂ විචක්ෂණ තව කෙනෙක් නම් නැත. මගේ රටේ පාලනය මම ඔබට බාර දෙමි. මාගේ සෙනඟ සියලු දෙනා ම ඔබේ කීම අනුව පාලනය කරනු ලබති. මා ඔබට වඩා උසස් වන්නේ හුදෙක් රාජ ධූරයෙන් පමණකි. බලන්න, මුළු මිසර දේශාධිපති කොට මම ඔබ පත් කරමි”යි කියා, ඔහු තම ඇඟිල්ලෙන් පේරැස් මුදුව ගලවා, ජෝසෙප්ගේ ඇඟිල්ලෙහි දමා, අගනා සිනිඳු වස්ත්‍ර ඔහුට හඳවා, ඔහු ගෙල රන් මාලයක් පැළඳ විය. පසුව පාරාවෝ තමා සතු දෙ වන රාජකීය රථයේ ඔහු නංවාලී ය. රාජකීය මුර බළ ඇණිය, “දණ නමව්” කියා කෑගසමින් පෙරටුව ගියහ. මෙසේ පාරාවෝ මුළු මිසර දේශාධිපති කොට ඔහු පත් කෙළේ ය. තවද, ඔහු ජෝසෙප් අමතමින්, “මම පාරාවෝ වෙමි, එහෙත් ඔබේ අවසරය නැති ව, මුළු මිසර දේශයෙහි කිසිවෙකු අත වත්, පය වත් නොසෙල්විය යුතු ය”යි කීවේ ය. ඔහු ජෝසෙප්ට ශාපේනත්-පනේයා යන නම තබා, ඕන් යන පූජාස්ථානයේ පූජක වන පොතිපෙරාගේ දුව වන ආසෙනත් ඔහුට බිරිඳ කොට සරණ පාවා දුන්නේ ය. ජෝසෙප් ද මුළු මිසර දේශය පුරා නිල චාරිකාවක යෙදුණේ ය. මිසරයේ රජ වන පාරාවෝගේ සේවයට ජෝසෙප් බැඳෙන විට ඔහුට වයස අවුරුදු තිහකි. ඔහු පාරාවෝ ඉදිරියෙන් නික්ම මුළු මිසර දේශය පුරා නිල චාරිකාවක යෙදිණි. සමෘද්ධිමත් වූ අවුරුදු හත තුළ භූමිය ද සුවිශාල අස්වැන්නක් නිපදවිය. ඔහු සත් අවුරුද්ද තුළ මිසර දේශයෙහි වූ සියලු ආහාර වර්ග රැස් කොට, ඒවා නගරවල ගබඩා කෙළේ ය. සෑම නගරයක් අවට තිබූ ආහාර ද ඔහු එලෙස ම ගබඩා කොට තැබී ය. ඇරත්, ඔහු මුහුදේ වැලි මෙන් විශාල ප්‍රමාණයකට ධාන්‍ය රැස් කෙළේ ය. ධාන්‍ය මැනීමට බැරි තරම් අධික වූයෙන් ඔහු ඒවා මැනීම නතර කෙළේ ය. ඕන් නම් පූජාස්ථානයේ පූජක වන පොතිපෙරාගේ දුව වන ආසෙනත් සාගත කාලය පැමිණෙන්නට පෙර ජෝසෙප්ට දාව පුත්‍රයන් දෙදෙනෙකු ලැබුවා ය. “දෙවියන් වහන්සේ මාගේ සියලු දුක් කරදර සහ මාගේ පියාගේ මුළු පවුල ද අමතක කිරීමට මට සැලැසූ සේකැ”යි කියා ඔහු තම කුලුඳුල් පුතුට මනස්සේ යන නාමය දුනි. “දෙවියන් වහන්සේ අපල දේශයේ දී මා සඵල කළ සේකැ”යි කියා ඔහු දෙවැන්නාට එප්‍රායිම් යන නම තැබී ය. තවද, මිසර දේශයෙහි පැවති සමෘද්ධිමත් අවුරුදු හත කෙළවර විය. ජෝසෙප් කී පරිදි සාගත අවුරුදු හත පැමිණෙන්න පටන්ගති. සාගතය සියලු රටවල ම පැවතිණි. එහෙත්, මුළු මිසර දේශය තුළ ම ආහාර තිබුණේ ය. මුළු මිසර දේශය ම සාගතයෙන් පෙළුණ විට, සෙනඟ ද ආහාර ඉල්ලා පාරාවෝට මොරගැසූ හ. පාරාවෝ ද සියලු මිසර වාසීන්ට කතා කොට, “ජෝසෙප් වෙත යන්න, ඔහු නුඹලාට කියන දෙයක් කරන්නැ”යි කී ය. සාගතය ද මුළු පොළෝ තලය පුරා පැවතිණි. ජෝසෙප් ගබඩා සියල්ල විවෘත කොට, මිසර වාසීන්ට ධාන්‍ය වික්කේ ය. මුළු මිසර දේශය තුළ සාගතය තදින් බලපෑවේ ය. ධාන්‍ය මිලට ගැනීම සඳහා සෑම රටවලින් ම සෙනඟ ජෝසෙප් වෙත මිසර දේශයට ගලා එන්නට වූ හ. සෑම රටක ම සාගතය දරුණු ලෙස පැවතිණි.

මෙයට අදාළ වීඩියෝ

උත්පත්ති 41:37-57 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය